mihinthala-mahinda

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් නිසි ගෞරවයෙන් යුතුව සංවිධානය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) දින පස්වරුවේ සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මිහින්තලා පුද බිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙවරත් රාජ්‍ය පොසොන් උත්සවයට සමඟාමී ප්‍රධාන උත්සව සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජ මහා විහාරස්ථාන මූලික කරගනිමින්ද සංවිධානය වේ.


අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව සංවිධානය කර ඇත.
රාජ්‍ය පොසොන් උත්සවයට සමඟාමීව මිහින්තලාවේ වටරවුම් මාර්ගය පිළිසකර කර දෙන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියහ.
එම ඉල්ලීම ඉතා කඩිනමින් ඉටු කර දෙන්නැයි අග්‍රාමාත්‍යතුමා විසින් මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි මහතාට එම මොහොතේදීම උපදෙස් දුන්නේය.
සිතුල්පව්ව රජ මහා විහාරස්ථානය 2007 වර්ෂයේ පූජා භූමියක් ලෙස ගැසට් කිරීමේ දී සිදුව තිබෙන දෝෂ කිහිපයක් හේතුවෙන් පූජා භූමියකට ලැබිය යුතු පහසුකම් අද දක්වා නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් සොයා බලා පවතින දෝෂ මගහැරෙන පරිදි සිතුල්පව්ව රජ මහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස නැවත ගැසට් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙයට අමතරව සිතුල්පව්ව රජ මහා විහාරස්ථානාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය මැටරඹ හේමරතන නාහිමියෝ විහාරස්ථානයේ මාර්ග පද්ධතිය පිළිසකර කර ගැනීම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළහ.



ඒ අනුව යාල වනෝද්‍යාන මධ්‍යයේ පිහිටි සිතුල්පව්ව රජ මහා විහාරයේ අදාළ මාර්ග පද්ධතිය බොරළු අතුරා පිළිසකර කරන්නැයි අග්‍රාමාත්‍යතුමා විසින් මහා මාර්ග අමාත්‍යංශ ලේකම්තුමාට උපදෙස් දෙන ලදි.
සිතුල්පව්ව රජ මහා විහාරස්ථානාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය මැටරඹ හේමරතන නාහිමියෝ සහ මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමියෝ මෙහි වැඩම කළ වදාළහ.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.