X-Press-Pearl-ship-galle-facebook

සමාජ මාධ්‍ය යොදා ගනිමින් රජය පෙරැළීමට කුමන්ත්‍රණය කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් ඊයේ (17) අධිකරණයට ඉදිරිපත් කළ තරුණයෙකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා නියෝග කළේය. ගාල්ල කොටගෝඩ පදිංචි 28  හැවිරිදි තරුණයකු මෙසේ ඇප මත මුදා හැරුණි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු වෝහාරික අපරාධ අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහි දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙි නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් කියා සිටියේ මෙම තැනැත්තා විසින් පවත්වාගෙන යන Facebook පිටුවක් මගින් රජය අපහසුතාවට පත්කිරීමේ හා රජය පෙරැළීමේ කුමන්ත්‍රණයක් කර ඇති බවයි.



X-Press Pearl නැව ගිනිබත් කිරීමේ කටයුත්ත රජය විසින් සංවිධානාත්මකව සිදු කරන ලද බවත් නැවේ ගිල්ලුවේ අපි යනුවෙන් ප්‍රචාරය කර මහජනතාව කෙරෙහි අපරාධයක් සහ කෝපයක් පළකිරීමට කටයුතු කළ බවත් පොලිසිය මහේස්ත්‍රාත්වරයා  හමුවෙහි කියා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන විශ්වනාත් අරඹේවෙල සහ රජින්ද්‍ර නාරංගොඩ මහත්වරුන් කරුණු දක්වමින් මෙම සැකකරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාවට අනුව පුද්ගලිකව තම අදහස් දක්වා ඇති බවත් භාෂණයේ නිදහස ඔහුට හිමි බවත් කියා සිටියේය.

එමෙන්ම කිසිදු අසත්‍ය තොරතුරක් ප්‍රචාරය කර නැති බවත් මේ දිනවල කතාබහට ලක්වන නැව ගිනිබත්වීමේ සිද්ධිය හා කෝවිඩි වසංගතය ගැන ඔහු අදහස් දක්වා ඇති බවත් පැවසූහ.  ඔහුගේ අදහස් පළකිරීම ජාතික ආරක්ෂාවට බලපාන කරුණු  දැක්වීමක් නොවන බවද ඔවුන් විසින් සඳහන් කරන ලදී. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම් සැළකිල්ලට ගනිමින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණිවෙළ සැකකරු ඇපමත මුදාහැරීමට නියෝග කළේය.

සැකකරුට සෑම මාසයකම අවසන් ඉරුදින ගාල්ල මූලස්ථාන පොලිසියේ පෙනී සිටින ලෙසත්, මින් ඉදිරියට එම සමාජ මාධ්‍ය යොදාගනිමින් පරික්ෂණවලට බාධාවන කාර්යයන්හි නිරත නොවන ලෙසටත් අවවාද කළේය.

(සිරංගිකා ලොකුකරවිට)