12.15pm update
චන්දිමාල් ජයසිංහගේ උපන්දිනයට සහභාගී වූ බව කියන තවත් හය දෙනකු අත් අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම දූෂණ විමර්ශන ඒකකය  දන්වා ඇත. හසුවූ 6 දෙනා කාන්තාවන් 3ක් පිරිමි පුද්ගලයන් 3ක් බව කී අතර චන්දිමාල්ගේ මව නැගණිය හා මාධවී ඇන්තනි සහ ඇගේ ස්වාමිපුරුෂයා ඒ අතර සිටින බව පොලිසිය තහවුරු කළේය..




10,30am
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කලා පවුලක තරුණියක ඇතුළු හය දෙනකු  අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වමින් සිටින්නේ යැයි කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු උපුටමින් අද (4) ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.  
ප්‍රවිණ කලාශිල්පී ජැක්සන් ඇන්තනිගේ දියණිය වන මාධවී වත්සලා අත්අඩංගුවට නොගෙන අනෙක් අය අල්ලා දඩුවම් ලබාදීම ගැන කතාබහක් පැනනැගී තිබිණි.
හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවෙන් මෙම පුද්ගලයන් හඳුනාගත් බවත් කොළඹ මධ්‍යම දූෂණ විමර්ශන ඒකකය පරික්ෂණ පවත්වමින් සිටින බවත් එම පොලිස් නිලධාරියා පුවත්පතට පවසා තිබේ.

එම හෝටලයේ කළමනාකරුවකුගෙන් ඊයේ (03)  පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කරගත් බවත්, සිද්ධිය වාර්තා වූ පසුගිය මැයි 30 වැනිදා රාත්‍රී එම හෝටලයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයාගෙන් අද (04) ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය කියයි.

ජැක්සන් ඇන්තනි රංගන ශිල්පියා රඟපෑ ධර්ම යුද්ධය චිත්‍රපටයේදී මනුෂ්‍ය ඝාතනයක් සැඟවීම පිණිස පියෙකු විසින් සිය දියණියන්ට ලබාදෙන උපදෙසක් අඩංගු ජවනිකාවක් තිබෙන අතර මේ දිනවල එයට අදාළ රූපයක් මෙම සිද්ධියට ආරෝපණය කරමින් සංස්කරණය කර සමාජ මාධ්‍ය තුළ සැරිසරනු හඳුනාගන්නට ලැබේ.