katugastota-covid19

මහනුවර කටුගස්තොට පෞද්ගලික අධ්‍යාපන ආයතනයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නේවාසිකව අධ්‍යාපනය හදාරමින් සිටි සිසුන් 50 දෙනකු සහ එහි පාලනාධිකාරියේ 9 දෙනකු ඊයේ (3 වැනිදා) සිට දින 14ක කාලයක් නිරෝධායනයට යොමු කළ බව කටුගස්තොට පොලීසිය කියයි.  

කටුගස්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගත් අතර, මහනුවර කටුගස්තොට රණවන පාරේ පිහිටි අදාළ පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ නිරෝධායන දැන්වීම් අලවා  එය මුද්‍රා තැබූ බව ද පොලීසිය සඳහන්කරයි.  අ.පො.ස. සාමාන්‍ය පෙළ හදාරන සිසුන්  දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෙන්වාගෙන එම පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ  න්වාසිකව අධ්‍යාපනය ලබා දී ඇති බවටත්,  එහි සිටි සිසුවියකට කොරෝනා ආසාදිතව ඒ බව සඟවා ඇය එම ස්ථානයෙන් පිටත් කර හැර ඇති බවටත් තොරතුරු ලැබුණු බව පොලීසිය පවසයි.




ලද එම තොරතුරට අනුව පොලීසිය සමග සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එම ස්ථානයේ වැටලීමක් සිදුකළ බවත්, එහිදී සිසුන් 50 දෙනකු එහි අධ්‍යාපනය හදාරමින් සිටි බවත් පොලීසිය සඳහන් කරයි.  මීට දින තුනකට පෙර එම ස්ථානයේ න්වාසිකව අධ්‍යාපනය හැදෑරූ සිසුවියක අසනීප වී ඇය පදිංචි වූ හෙයියන්තුඩුව ප්‍රදේශයේ රඹුක්කන රෝහලකට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ඇය කොවිඩ් ආසාදිත බවට එහිදී තහවුරු වී ඇති බව ද කටුගස්තොට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සඳහන් කළහ.

ඇය සමග සිටි කිසිදු ශිෂ්‍යයකු හෝ නිරෝධායනයට යොමු නොකළ බලධාරීන්, අධ්‍යාපන කටයුතු නොනවත්තා කරගෙන ගොස් ඇති බව එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනයේදී හෙළි වූ බව ද සෞඛ්‍ය බලධාරීහු පැවැසූහ.  ඒ අනුව, අදාළ සිසු සිසුවියන් 50 දෙනා සහ එහි අධ්‍යාපන කටයුතු කළ ගුරුවරුන් ඇතුළු 9 දෙනකු එම ස්ථානයේම දින 14ක නිරෝධායනයට යොමු කළ අතර එම කාල සීමාව නිම වීමෙන් පසු නිරෝධායන පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව මත සිද්ධියට  අදාළ බලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන  බව ද පොලීසිය සඳහන් කරයි.