covid19-nikaweratiya

කොරෝනා වයිරසය ආසාදනය වූ ගර්භනි මවුවරුන් සිවු දෙනකුට කරන ලද සිසේරියන් සැත්කම් මගින් සාර්ථක දරු උපත් සිදුකිරීමට නිකවැරටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු සමත්වූහ. 

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් වන ජගත් විජේපාල සහ සනත් ද සිල්වා මහත්වරුන් එක්ව සිවුවැනි දරු උපත පෙරේදා (2) සාර්ථකව සිදු කළ බව නිකවැරටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රමිල අධිකාරි මහතා පැවසීය.කොරෝනා ආසාදිත මවුවරුන් සිවු දෙනාම සහ ඔවුන් ප්‍රසූත කරන ලද බිලිඳුන් ඉතාම නීරෝගීව සිටින බවද මෙම සැත්කම් සාර්ථක කරගැනීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය කොරෝනා වෛරස අවදානමද නොතකමින් ඉතා දැඩි කැපවීමෙන් කටයුතු කළ බවද වෛද්‍ය ප්‍රමිල අධිකාරි මහතා සඳහන් කළේය.



 “දරු ප්‍රසූතිය සිදු කළ මවුවරුන් සිවු දෙනාම නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ පදිංචිකාරිනි. ඔවුන් දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් වුණාට පසුව කරන ලද පී.සී.ආර් පරික්ෂණ වලින් තමයි ඔවුන්ට කොරෝනා වෙරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණේ. ඒ වනවිට ඔවුන් දරු ප්‍රසූතිය සඳහා ඉතාම ආසන්නවයි සිටියේ. මේ නිසා කොතරම් අවදානමක් පැවතියත් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩලය මේ මවුවරුන් සහ ඔවුන්ගේ දරුවන් බේරා ගැනීමට සිසේරියන් සැත්කම් සිදු කිරීමට ඉදිරිපත් වුණා.

එය ඉතාම අගය කළ යුතු කාර්යයක් බව කිව යුතුයි".“ඉතාම ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එම සැත්කම් සියල්ලම සිදු කළා.නිකවැරටිය මූලික රෝහලේ කොරෝනා නිවුමෝනියා තත්වයට සහ කොරෝනා ආසාදිත ගර්භණී මවුවරුන්ට ප්‍රතිකාර සඳහා මේ වන විට විශේෂිත ප්‍රතිකාර ඒකක දෙකක්ම පිහිටුවලා තිබෙනවා".
 (පුෂ්පකුමාර ජයරත්න)