grama-niladhari-covid19

කොරෝනා වයිරසය ආසාදනය වී ග්‍රාම නිලධාරීන් තිදෙනකු මිය ගොස්සියයකට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී ඇති නමුත් දැඩි කැපවීමකින් අනාරක්ෂිත තත්වයක් යටතේ පැය විසිහතර පුරා කොවිඩ් මර්දන ක්‍රියාවලියේ යෙදී සිටින ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන්ට ආරක්ෂක ඇඳුම් කට්ටල ඇතුළු අනෙකුත් ආරක්ෂක උපකරණ දෙන ලෙසට බලධාරිගෙන්  කොතරම් ඉල්ලීම කළත් ප්‍රතිඵලයක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා පැවසීය. මේ පිළිබඳව බලධාරින් තව දුරටත් නිහඬව සිටියහොත් ඒ පිළිබඳව ඉදිරි කාලයේ අකමැත්තෙන් වුවත් තීරණයක් ගැනීමට සිදු වන බවද ඒ මහතා කීය.


රට තුළ ග්‍රාම නිලධාරින් දාහතර දහසක ප්‍රමාණයක් සිටිය යුතු නමුත් මේ වන විට සේවයේ යෙදී සිටිනුයේ දොළොස් දහසක පිරිසක් බවත් තුන් දහසක අඩුවක් තිබෙන බවත් ඒ මහතා කීය.මේ පිරිසගෙනුත් දෙදහසක් ප්‍රසුති නිවාඩු ගොස් ඇති බවත් ගැබිනියන් හා කුඩාම දරුවන් සිටින දහසක් පමණ ද නිවාඩු ලබාගෙන සිටින බවත් මේ අනුව සේවයේ යෙදී සිටිනුයේ නම දහසක් පමණ පිරිසක් බවද ඒ මහතා සඳහන් කළේය.

එම නම දහසක් පමණ දෙනා දෙකෝටි විසි ලක්ෂයකට වැඩි ජනතාවගේ අනෙකුත් සේවා කටයුතු කරන ගමන් පිරිසක් වසම් දෙක තුනක රාජකාරි කරන බවත් කොවිඩ්  වසංගතය පැමිණීමත් සමග අනාරක්ෂිතම අයුරින් සේවය කරනුයේ ද ග්‍රාම නිලධාරීන් බවද කීය. ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන් කොවිඩ් මර්දන ක්‍රියාවලියට සක්‍රීයව දායක වීමට සිටින්නේ ආරක්ෂක ඇඳුම් කට්ටල, මුඛ ආවරණ, අත් වැසුම් හා විෂබීජ නාශක දියර පවා නොමැති තත්වයක් යටතේ බවත් විෂබීජ නාශක දියර මුඛ ආවරණ ඔවුන් ලබා ගන්නේ පුද්ගලිකව බවද ජාතික සංවිධායකවරයා කීය.


මෙවැනි අනාරක්ෂිත තත්වයක් යටතේ සේවය කරනු ලබන ග්‍රාම නිලධාරින් රෝග වාහකයන් බවට පත්වීමට ද ඉඩ ඇති බවද ඒ මහතා කීය. කොවිඩ් මර්දන ක්‍රියාවලියට අමතරව අනෙකුත් ආපදා අවස්ථාවන් හිදී සියලුම කටයුතු කරනුයේද ග්‍රාම නිලධාරින් වන නමුත් ඔවුන්ට ලැබෙනුයේ කුඩම්මාගේ සැලකිලි බවත් ඒ මහතා සඳහන් කළේය.

අප සංගමයක් වශයෙන් අනාරක්ෂිත ලෙස කොවිච් මදන ක්‍රියාවලියට සක්‍රීයව දායක වී සිටින ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන්ට ආරක්ෂක ඇඳුම් කට්ටල මුඛ ආවරණ අත් වැසුම් හා විෂබීජ නාශක දියර විධිමත් වැඩ පිළිවෙළක් ඔස්සේ ලබා දෙන ලෙසට අවස්ථා කිහිපයක්ම බලධාරීන් ගෙන් ඉල්ලා සිටියත් බීරි අලින්ට වීණා ගායනා කළා සේ මේ දක්වා ප්‍රතිඵලයක් ලැබී නොමැති බවද ඒ මහතා කීය. අපගේ බලපෑම නිසාම ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන්ට කොවිච් එන්නත් ලබා දීම සමහර ප්‍රදේශවල කරගෙන යන බවද ඒ මහතා සඳහන් කළේය.

  - ආනන්ද ඉ.ජයකොඩි -