galle-baby-death

කුරුම්බැට්ටියක් උගුරේ හිරවි මාස 11 ක දැරියක් මියගොස් ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය. මියගොස් ඇත්තේ හේවාහන්දිගේ මනුලි විමංසා නැමති මිනුවන්දෙණිය කරාගොඩ ප්‍රදේශයේ දැරියකි.  ඇය නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටිය දී කුරුම්බැට්ටිය හිරවී ඇතැයි සාක්ෂි විභාගයේ දී අනාවරණය විය.මියගිය දැරියගේ හදිසි මරණ පරික්ෂණය  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේ  ලොකුගේ මහතා විසින් සිදු කරනු ලැබීය.

මියගිය දැරියගේ පියාවන හේවාහන්දින්ගේ රුවන් කුමාර (38) මහතා හදිසි මරණ පරික්ෂණයේ දී සාක්ෂි දෙමින් මෙසේ කීවේය.


මිය ගොස් ඇත්තේ මාගේ බාල දියණියයි. ඊයේ දහවල් මම වැඩට ගිහින්  දහවල් කෑමට ගෙදර ආවා. බිරිය කුස්සියේ කෑම උයමින් සිටියා. මම දරුවන් දෙදෙනා  සමග සාලයේ සෙල්ලම් කරමින් සිටියා. දරු දෙදෙනා සෙල්ලම් කරමින් සිටින විට, කුරුම්බැට්ටි 02ක් තිබුණා මම එකක් අරගෙන මිදුලට විසි කළා. අනික් කුරුම්බැට්ටිය පුතා අරගෙන කාමරයට දිව ගියා. මම කෑම ගන්න කුස්සියට ගිහින් කෑම එක ගත්තා විතරයි, ලොකු පුතා කෑ ගැසුවා නංගි කුරුම්බැට්ටිය ගිල්ලා කියලා. මම දුවගෙනවිත් බැලුවා. චුටි දියණිය බිම වාඩිවෙලා හිටියා. පුතා ඇය අල්ලාගෙන හිටියා. මා දුව ඇළ කරලා පිටට තට්ටුවක් දමලා උගුරට ඇගිල්ල දමලා බලනවිට කුරුම්බැටය හසුවුණත් එය එළියට ගන්න බැරිවුණා. දුව බෙල්ල හොල්ල හොල්ලා හිටියා. 1990ට කථා කළත් එය ආවේ නැහැ. බිරිය දරුවාත් අරගෙන අල්ලපු ගෙදර යාළුවකු සමග ඉමදුව රෝහලට ගියා. මමත් වෙනත් බයිසිකලයකින් ගියා. දරුවා මියගිය බව වෛද්‍යවරුන් පරික්ෂා කොට බලා කීවා.


පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. රවින්ද්‍රන් මහතා විසින් සිදු කරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා  කුරුම්බැට්ටියක් හිරවී ශ්වසන මාර්ගය අවහිරවීමෙන් මෙම මරණය වී ඇති බවට තීන්දු කළේය.


 -ජේ.කේ.එල්. චාමින්ද-