fual-price-effect

ඉන්ධන මිල සංශෝධනය කිරීමට අනුමැතිය දුන් පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමටද අනුමැතිය දිය යුතු බව ගෑස් සමාගම් අවධාරණය කර තිබුණි. ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 500 ත් 700 ත් අතර මිළකින් වැඩි කල යුතු බවට ඔවුන් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.
ගෑස් මිල සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව හෙට රැස් වන අතර වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කලේ එහිදී ගෑස් මිල සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කරන බවයි.



ඉන්ධන මිල, අමතර කොටස් මිල සහ ලිහිසි තෙල් මිල ආදිය ඉහළයැම සැලකිල්ලට ගනිමින් අවම බස් ගාස්තුව ඇතුළුව බස් ගාස්තුව 25% කින්ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කර තිබේ.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු බස් රථ සේවාව ආරම්භ කරන මොහොතේ සිට අදාළ බස් ගාස්තුව ඉහළ දැමීම අවශ්‍ය බවද එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.
මේ බව හෙට(15දා) ජාතික ගමනාගමන කොමිසමෙන් ලිඛිතව ඉල්ලා සිටීමට කටයුතු කරන බවද පුද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. ත්‍රීරෝද රථ හිමියන්ටත් සහනයක් ඕනෑ ඉන්ධන මිල ඉහළ දැමීම නිසා කුලී ත්‍රිරෝද රථ හිමියන්ට විශාල බලපෑමක් එල්ල වී තිබෙන හෙයින් කුලී ත්‍රිරෝද රථ හිමියන්ට ඉන්ධන සහනාධාරයක් ලබාදිය යුතු බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියද සඳහන් කරයි.


 ඉන්ධන මිල ඉහළයෑමට අමතරව බේකරි නිෂ්පාදනවලට අදාළ අමුද්‍රව්‍ය මිලද විශාල ලෙස ඉහළයෑම නිසා බේකරී හිමියන්ද මේ දිනවල දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.

 ඉන්ධන මිල ඉහළ යාමත් සමග පීඩාවට පත්ව සිටින බස් හිමියන්ට සහන සැලසීම සඳහා ඉදිරියේදී සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා තිබේ.
අමාත්‍යවරයා පැවසුවේ, රුපියලකින්වත් බස් ගාස්තු ඉහළ නැංවීම සඳහා කටයුතු නොකරන බවකි.
ජනතාවට දැරිය හැකි උපරිම ප්‍රමාණයට මේ වනවිට බස් ගාස්තු වැඩි කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ සංචරණ සීමා හේතුවෙන් ආසන ගණනනට පමණක් මගීන් ගෙන යායුතු බවට කොන්දේසි පැනවූ අවස්ථාවේදී 20%ක බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ බැවින් මෙවර ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බව ඔහු කියා සිටියේය.
නමුත් බස් හිමියන්ට ඉන්ධන සහනාධාරයක් වැනි යම් සහනයක් ලබා දීමට ඉදිරියේදී සාකච්ඡා කරන බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගෑස් මිල සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ, ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබීම හේතුවන් මෙරටට සෘජුව බලපෑම් ඇති වුව ද රජය ගෑස් මිල වැඩි කිරීමට කිසිදු සූදානමක් නොමැති බවය.