express-pearl-captain

මෙරට මුහුදු සීමාවේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නොකාවේ කපිතාන්වරයා රේඩියෝ සංවාද සිඳුකළ බව කියන කොළඹ වරායේ රේඩියෝ දත්ත සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (15) නියෝග කළාය.  නෞකාවේ ඩී.වී.ආර්. යන්ත්‍රයේ පරික්ෂණ සිදුකරනවා සේම වරාය අධිකාරිය සතු රේඩියෝ දත්ත සම්බන්ධයෙන් ද පරික්ෂණයක් සිදුකරන ලෙස රහස් පොලිසියට නියම කරන්නැයි නෞකාවේ සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.


අධිකරණයෙන් ලබාදෙන නියෝග උල්ලංඝනය කරන පාර්ශ්ව සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත විමර්ශන ආරම්භ කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට තවත් නියෝගයක් නිකුත් කළාය. සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය අධිකරණය හමුවේ ඊයේ (05) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.  පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිනි ගිරියාගම මෙනවිය සමග අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධයක්ෂ රොහාන් ප්‍රේමරත්න, සහකාර පොලිස් අධිකාරි රොෂාන් අබේසිංහ, සාගර විෂයයට අදාළ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාතිලක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ විමර්ශන කටයුතු සඳහා අදාළ නෞකාවේ දේශීය නියෝජිත වන සී. කාසෝටියම් ලංකා සමාගමේ ඊමේල් දත්ත ගබඩාවේ පිටපතක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම  පැහැර හැර ඇති බවය.




එම පිටපත ලබාදෙන ලෙස ඉකුත් නඩු දිනයේදී අධිකරණය නියෝගයක් නිකුත් කළ අතර, අදාළ සමාගම ඒවා ලබාදීම පැහැර හැර ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.  සී. කොන්සෝටියම් ලංකා සමාගම  වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපතිට නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අදාළ සමාගමේ සමස්ත දත්ත ගබඩාවම තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති බවය. අධිකරණය නියෝග කර ඇත්තේ මෙම විමර්ශනවලට අදාළ ඊමේල් දත්ත පමණක් ලබාදෙන ලෙස වුවත්, සමස්ත දත්ත ගබඩාවම ලබාදීම කළ නොහැකි බවත්, එසේ වුවහොත් සමාගම සතු ව්‍යාපාරික රහස් ප්‍රසිද්ධියට පත්වීමේ අවදානමක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.  අදාළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටින ලද  ඊමෙල් දත්ත ගබඩාව ගිගාබයිට් 6,000කින් පමණ යුක්ත වන හෙයින්, එය පිටපත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවන බවයි.


මෙම නෞකාවේ සිටින කාර්ය මණ්ඩල  සාමාජිකයන් 27 දෙනා සතු ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක, කැමරා ආදී ඉලෙක්ට්‍රොනික භාණ්ඩවල අන්තර්ගත දත්තවල  පිටපතක් ලබාගැනීම සඳහා ඒවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදෙන  ලෙස ඉකුත් දා අධිකරණය නියෝගයක් නිකුත් කළත්, එය මෙතෙක් සිදුව නොමැති බව රජයේ  ‍නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව  තෙන්නකෝන් මහතා අධිකරණයට දැනුම් දුන්ෙන්ය. එම අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිපුන විමලසේකර මහතා කියා සිටියේ, නෞකාවේ කර්ය මණ්ඩලයේ සිටින විට සාමාජිකයන් 13 දෙනකුම චීන ජාතිකයන් බවත්, ඔවුන්ට සිංහල භාෂාවෙන් මුද්‍රණය කළ අධිකරණ නියෝගයක් පෙන්වා භාණ්ඩ ඉල්ලා ඇති බැවින් ඒවා ලබාදීමට හැකියාවක් නොතිබූ බවත්ය.




නෞකාවේ දේශීය නියෝජිත සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත්  ජයමාන්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ පවතින අනතුරුදායක තත්වය පිළිබදව කපිතාන්වරයා වරින් වර හාබර් මාස්ටර්වරයා දැනුවත් කළ බවත්, කපිතාන්වරයා විසින් නිකුත් කරනු ලැබූ එම රේඩියෝ පණිවුඩ හාබර් මාස්ටර්වරයාගේ සන්නිවේදන කේන්ද්‍රයෙහි සටහන් වන බවත්ය. එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලීමක් කරමින් සඳහන් කළේ, අදාළ නෞකාවේ දේශීය සමාගමේ සභාපතිවරයා වන අර්ජුන හෙට්ටිආරච්චි නමැත්තා ප්‍රකාශ ලබාදීම හිතාමතාම පැහැර හරිමින් සිටින බැවින්, ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසය..


ඔහු වෙනුවෙන් අධිකරණයෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ අර්ජුන හෙට්ටිආරච්චි මහතා අද (16) උදෑසන 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින බවය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ ස්නියෝ දත්ත සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරමින් සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය ලබන 30 වැනිදා තෙක් කල් තැබීය.


 -නිමන්ති රණසිංහ-