ගැබිනි මවක් ළිඳකට පැනීමෙන් කුස තුළ සිටි බිලිඳා ළිඳ තුළම ඉපදී මියගොස් ඇතැයි රඹුක්කන පොලිසිය කියයි. රඹුක්කන, පත්තපිටිය, කෙම්පිටිවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ක් වයසැති දෙදරු මවක් තවත් දරුවකු බිහි කිරිමට සිටි අවස්ථාවක මෙලෙස ළිඳකට පැන ඇති අතර ඇයගේ සැමියා දෙවසරකට පෙර රැකියාවක් සඳහා විදෙස්ගත වී ඇති බව ද රඹුක්කන පොලීසිය පවසයි. ඇයගේ සොහොයුරිය වන සදාසිවම් සීදේවි පවසන පරිදි දරුවා ද බිහි වී ඇත්තේ ළිඳ තුළදීය.




නිවෙසට මදක් දුරින් වූ අනාරක්ෂිත ළිඳකට ඇය වැටී ඇති බව කෑ ගසද්දී දැන ගත් බවත් ඊට පසු ගම්වාසීන්ගේද උපකාරය මත ඇය මාවනැල්ල රෝහල වෙත රැගෙන ගිය බවත් ළිඳට පැන්න කාන්තාවගේ සොහොයුරිය පැවසුවාය. මෙම කාන්තාව රෝහල වෙත ගෙන ගිය පසු තමා දරුවකු බිහි කිරීමට සිටි බවත් ඒ දරුවා ළිඳ තුළ දී බිහි කළ බවත් පවසා ඇති බව පොලිසිය කීය. තම සොහොයුරියගේ සැමියා මෙයට දෙවසරකට පෙර විදෙස් රැකියාවකට ගොස් ඇති බැවින් ඇයට දරුවකු ලැබීමට සිටි බවක් තමන් නොදන්නා බව ද ළිඳට පැන්න කතගේ සොහොයුරිය පොලිසියට පවසා ඇත.


 ජුනි 13 වැනි දින දෙදරු මවක් ළිඳට පැන ඇති බවත් මව කෑ ගසද්දී අවට ගම්වාසීන් විසින් ඇයව ළිඳෙන් ගොඩගෙන රෝහල වෙත රැගෙන ගොස් ඇති බවත් එහිදී බිලිඳකු ළිඳ තුළ සිටින බව අනාවරණය වීමෙන් පසුව ඊයේ 14 සවස 3.00ට පමණ දරුවාගේ මළ සිරුර ගොඩගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා කෑගල්ල රෝහල වෙත ගෙන ගිය බව රඹුක්කන පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. මැල්කම් පේස්ට් මහතා පැවසීය. මේ මව මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර  ගන්නා බවත් මෙම සිද්ධිය ඉතා බරපතළ සිද්ධියක් බැවින් ඉදිරි පරික්ෂණ කටයුතු කඩිනම්  කිරිමට රඹුක්කන පොලීසිය කටයුතු කරන බවත් මැල්කම් පේට් මහතා පැවසීය.


  - එම්.ආර්.ප්‍රියශාත්ත -