express-pearl-captain-sri-lanka-court

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ නෞකාවේ කපිතාන්වරයා වූ රුසියානු ජාතික ක්වල්ලේ විටදී වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කියා සිටියේ  නැවේ ගින්න නිවන වගකීම ආසන්න වරාය පිහිටි ශ්‍රී ලංකාව සතු වුවත් නිසි වේලාවට ක්‍රියා නොකර ගිනිගැනීම මගින් සිදුවන අලාභයට වන්දි ගැනීමේ චේතනාවක් හඳුනාගන්නට ලැබුණ බවයි. නැවේ දුමාරය පිටවීමට පටන්ගත් අවස්ථාවේදී නැවට ගොඩවී පැය එකහමාරක කාලයක් එහි සිටි නාවික හමුදා සහ වරාය අධිකාරියේ නිලධාරීන් නැවේ ගින්න නිවා නොදැමුවේ වන්දි ලබාගැනීමේ අරමුණින්දැයි සැක මතුවන බව ඔහු කීය.
සේවාදායකයා පැදවූ නැව කොළඹ වරායට ඒමට  නියමිතව තිබූ දිනට වඩා දින දෙකක පමණ කාලයක් ප්‍රමාද වූ බවත්, මුහුදේ ඇතිවී තිබූ කුණාටු තත්ත්වය ඊට හේතු වූ බවත් දැනුම් දුන් සරත් ජයමාන්න මහතා මුලින්ම නැවේ බහලුම් අතරින් දුමක් නඟින අයුරු නික්‍ෂණය කළ බවත් තම සේවාදායකයා සහ ඔහු යටතේ සේවය කළ නිලධාරීන් ඒ බව වරාය අධිකාරියට, නැව අයිති සමාගම ඇතුළු සියලුම පාර්ශ්වවලට ඒ අවස්ථාවේදීම දැනුම්දුන් බවත් කීය.



ඒ අනුව එදින සවස 4.30ට පමණ නාවික හමුදාවේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් නැවට පැමිණ ඇති බවත්, ඔවුන් පැය එකහමාරක පමණ කාලයක් නැවේ ගතකර, දුමාරය පිළිබඳ පරීක්ෂා කර ඔවුන් හාබර් මාස්ටර්වරයාට ඒ බව දැනුම් දෙන්නම් කියා පිටව ගියත් කිසිවක් සිදු නොවූ බවත් රාත්‍රියේ නැවේ දුමාරය වැඩිවීමට පටන්ගත් විට මේ පිළිබඳ කපිතාන් හා නිලධාරීන් හාබර්මාස්ටර්වරයා ඇතුළු සියලු පිරිසට පණිවුඩ ලබාදී ඇති බවත්, ඒ වෙලාවේ ක්‍රියාත්මකවූ  හාබර්මාස්ටර්වරයා නැවේ ගින්න නිවාදැමීම සඳහා මුල්වරට ටග් යාත්‍රා කීපයක් එවනු ලැබුවත් ඒවා නැවේ ගින්න නිවා දැමීමට තරම් ප්‍රමාණවත් නොවූ බවත් ඒ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව නැවේ ගින්න දරුණු ලෙස පැතිරී ගොස් දින ගණනක් තිස්සේ ගිනිගෙන මුහුදුබත්වූ බවත් මුලින්ම අවස්ථාවේදී නිවාදැමීමට තිබූ නැවේ ගින්න නිවානොදැමුවේ වන්දි ලබාගැනීමේ අපේක්ෂාවෙන්දැයි  සැකයක් මතුවන බවද කී සරත් ජයමාන්න මහතා තම සේවාදායකයාට චෝදනා කරන ආකාරයෙන් ඔහු කිසිදු අවස්ථාවක නැවෙන් කිසිදු අපද්‍රව්‍යයක් මුහුදට නොදැමුවේ යැයිද, නැවේ හටගත් ගින්න නිවා දැමීමට උත්සාහ කිරීමේදී නැවේ තිබූ යම් යම් අපද්‍රව්‍ය මුහුදට එක්වීමට හැකියාව තිබුණේ යැයිද කීය.



සමුද්‍රීය ආරක්ෂණ පනතේ 12 වැනි වගන්තිය අනුව අපද්‍රව්‍ය මුහුදට එක්කර වරදක් සිදුකළැයි කියමින් කපිත්නාවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිස් නිලධාරීන් සමඟ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිදුවීමෙන් වසර දහස් ගණනකටවත් ප්‍රතිපූරණය කළ නොහැකි හානියක් ශ්‍රී ලංකා මුහුදු තීරයට සිදුව ඇතැයි කීය.
මෙම නෞකාවේ ගින්න ඇතිවූ අවස්ථාවේදී එය නිවාදැමීමට සැකකරු ඇතුළු නැවේ කාර්යමණ්ඩලය. කටයුතු නොකිරීම මෙම සිද්ධියට මූලිකම හේතුව වී ඇතැයි සඳහන් කළ මාධව තෙන්නකෝන් මහතා මෙම සිද්ධිය පිළිබඳ ආරම්භ කළ විමර්ශන කටයුතු පුළුල් ආකාරයෙන් සිදුකරගෙන යන්නේ යැයි කීය.
දෙපාර්ශ්වයේම කරුණු පිළිබඳ දීර්ඝ ලෙස සලකා බැලූ විනිසුරුවරයා නෞකාවේ කපිතාන්වරයා ඇප මත මුදාහැරීමට තීරණය කළේය.සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ලබන ජුලි 01 වැනිදා අධිකරණයට දැනුම් දීමට රහස් පොලීසියට නියම කළ විනිසුරුවරයා නැව් කපිතාන්වරයාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසද නියම කළේය.
රුපියල් මිලියන දෙකක් වටිනා බැඳුම්කරයක් මත මුදාහැරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළකාලමින් ඔහුට තහනම් නියෝගයක් නිකුත් කළේය.

 




Video by A24 News