england-lockdown-limitation

එංගලන්තය තුළ පනවා ඇති ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමේ තීරණය තවත් සති හතරකින් පමා කරන බව බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස්ජොන්සන් පවසයි. පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව ලබන ජූලි 19දා දක්වා මෙම තීරණය ක්‍රියාත්මකකෙරෙන බව සදහන් වෙයි.  විශේෂයෙන්ම අද වනවිට බ්‍රිතාන්‍ය තුළ ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වෙරසයේ ඩෙල්ටා නව ප්‍රභේදය මීට හේතුව වී ඇත.

එහිදී ලබන ජූලි 19දා වනවිට බ්‍රිතාන්‍ය ජනගහනයෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට එන්නත් මාත්‍රා දෙකක්ම ලබාදීමේ අවස්ථාවක් උදාවන බවත්, ඒ සමගම මෙම ලිහිල් කිරීම් සිදු කිරීමේ හැකියාවක් පවතින බවත් අගමැතිවරයා සදහන් කර ඇත. "තවත් ටික කාලයක් අපිට ඉවසගෙන, බලාගෙන ඉන්න වේවි. ඉදිරි සති හතරක කාලය වඩාත් කල්පනාවෙන් සිටීම හරහා අපිට මිලියන ගණනක ජනතාවකට එන්නත් ලබාදීමට හැකි වේවි. ඒ හරහා තවත් ජීවිත දහස් ගණනක් රැකගන්නට අපිට අවස්ථාව ලැබේවි.” යනුවෙන් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ. මේ අතර ලබන ජූලි 19 වැනිදායින් අනතුරුව බ්‍රිතාන්‍යයේ වෙසෙන වයස අවුරුදු 18ට වැඩි සෑම සියලු  දෙනා වෙතම එන්නන්වල පළමු මාත්‍රාව ලබාදීමේ හැකියාවක් ලැබෙන බවත් ඔහු මෙහිදී පවසා තිබේ.