online-liquer-delivery-banned

බදාදා දහවල් මාධ්‍ය ඔස්සේ වාර්තා වූයේ  සුරාබදු කොමසාරිස් වරයා නිවේදනයක් නිකුත් කරමින් සුපිරි වෙළෙඳසල් සඳහා මාර්ගගත (Online) ක්‍රමයට මත්පැන් බෙදාහැරීමට මුදල් අමාත්‍යංශය හරහා ඉල්ලීමක් කර ඇති බවත් එය කොන්දේසි කිහිපයකට යටත්ව ක්‍රියාවට නැංවීමට සූදානම් බවත්ය.
එයින් පසු බදාදා සවස මෙම ඇණවුම් සිදුකළ හැකි පරිමාණයන් ගැනද වාර්තා පළවිය.
කෙසේ වෙතත් සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළ කොන්දේසි වලින් එකක් වූයේ කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අවසරය ලබන අයට පමණක් මෙම බෙදාහැරීමට අවසරය හිමිවන බවයි.
නමුත් ඒ වනවිටත් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට අවසර ලබාදීම ගැන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැහැදිලි තීරණයක නොසිටි අතර

බදාදා රාත්‍රී වාර්තාවන්නේ මෙම අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට මුදල් අමාත්‍යංශය සුරාබදු දෙපාර්තමේන්තුව හරහා කළ ඉල්ලීමට අවසර නොදීමට ජනපති සමග කථාබහ කළ හමුදාපති තීරණය කර තිබෙන නිසා එය එතැනින් එහාට අනුමැතිය නොලද බවයි.
මත්පැන් අලෙවියෙන් විශාල පාඩුවක් ලබාඇති බවට මුදල් අමාත්‍යාංශයේ මැසිවිලි මත ලැබී තිබූ එම යෝජනාව රජය විසින් අවලංගු කර ඇත.
මෙම යෝජනාව අනුමත නොකර සිටිමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද විශාල බලපෑමක් සිදු කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ මත්පැන් භාවිතය නිසි වයසේ අයට ලබාදීම ගැන විශ්වාසයක් මෙමගින් ඇති නොවන බවයි. එසේම කොරෝනා වසංගතය හමුවේ මත්පැන් දුම්වැටි ආදිය ප්‍රවර්ධනය රෝගයට තවත් රුකුලක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඒවා භාවිතයෙන් ඉවත්වීමට උපදෙස් ලබාදී ඇති බවයි.
විරෝධයන් වලින් පසු අවසානයේ අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවිය රජය අනුමත නොකළේය.