[Trending][btop]
[News][stack]

කසිප්පු ජාවාරම ගැන ඔත්තු දුන්නැයි ගෙදර කුඩු පට්ටම්

රත්නපුර නිවිතිගල ප‍්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු ජාවාරමක් ගැන  නොරතුරු පොලිස් විශේෂ කාරිය බළකායට හෙළි කළැයි උරණ වූ, ජාවාරම්කරුවන් පිරිසක් එම ඔත්තුකාරියගේ නිවස සහ නිවසේ නිමු බඩු බාහිරාදිය කුඩුපට්ටම් කර දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.  

එම සිදුවීම වන අවස්ථාවේදී නිවසේ සිටි ඔත්තුකාරියගේ වයස අවුරුදු 17ක පුත්‍රයා ද අතුරුදන්ව ඇතැයි එම කාන්තාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, ඔහු සොයා ගැනීම සඳහා පරික්ෂණ පවත්වන බවත් නිවිතිගල පොලිසිය සඳහන් කරයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ කහවත්ත කඳවුරේ නිලධාරිහු ඉකුත් 05 වැනිදා රාත්‍රියේදී රත්නපුර, නිවිතිගල, කිරිබත්ගල පහළ කොටස, කටුපොල්වත්ත ස්ථානයේදී කසිප්පු මිලි ලීටර් 67,500 ක් සහ ගෝඩා මිලි ලීටර් 2,62,500 ක්, යකඩ බැරල් දෙකක්,

තඹ දඟරයක්, ගෑස් සිලින්ඩරයක්, ගෑස් ළිපක් සමග සැකකරුවන් 02 දෙනකු අත්අඩංගුවට ගන්න. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම නඩු භාණ්ඩ සහ සැකකරුවෝ නිවිතිගල පොලිසියට බාරදුනේය.

පසුව, කසිප්පු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිසිය සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර සිටි අතර, එදින රාත්‍රියේ ඔත්තුකාරියගේ නිවසට මෙලෙස පහරදී සිදුව ඇතැයි පොලිසිය පවසයි.එම ජාවාරමට අදාළ තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකායට ලබාදුන්නැයි සැක කරමින් ජාවාරම්කරුවන් තොරතුරුකාරියගේ නිවස කඩා බිමට සමතලා කොට එහි තිබූ බඩු බාහිරාදිය ද විනාශ කර දමා ඇති බවට දැනට කරන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.



මැර කණ්ඩායම නිවසට පහරදී හානි සිදුකිරීමෙන් පසු ඔවුන් තම පුතා පසුපස හඹා ගිය බව සිද්ධියට අදාළ පැමිණිලිකාරිය  පොලිසියට පවසා ඇත. මෙම නිවසට පහරදීම සම්බන්ධයෙන් ජාවාරම්කරුවන් 07 දෙනකුගෙන් තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී තවත් සැකකරුවෝ සිවු දෙනෙක් අධිකරණයට භාර වූහ. ඒ අනුව එම සැකකරුවන් 07 දෙනාට අධිකරණයෙන් ඇප නියම කර ඇත. මෙම නිවසට හානි සිදුකිරිම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරනු ලබන බව නිවිතිගල පොලිසිය පවසයි.