egg-chicken-meat-shortage

කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල හිගය හේතුවෙන් ඉදිරි මාස  දෙක තුන ඇතුළත බිත්තර සහ කුකුළු මස්වල දැඩි හිගයක් මතුවීමට ඉඩ ඇතැයි සමස්ත ලංකා කුකුළු  ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කරයි.  මේ වනවිට බඩ ඉරිගු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති  අතර දේශීය බඩ ඉරිගු කිලෝවක මිල රුපියල් 95 දක්වා වැඩි වී ඇතැයි ද ඒ අනුව බිත්තර හා කුකුළු මස් නිෂ්පාදන මිල ඉතා ඉහළ ගොස් ඇතැයි ද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණස්කර මහතා කීවේය.




කුකුළු කෑම නිෂ්පාදනයට යොදා ගන්නා තිරිගු ආනයනය කිරිමට මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් අවස්ථාව හිමි වී ඇති හෙයින් කුකුළු කර්මාන්තයේ නියැලී සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කබලෙන් ළිපට වැටී සිටින බව ද ගුණසේකර මහතා පැවසීය. කුකුළු කෑම නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය සහන මිලකට ලබාගැනීමට හෝ ආනයනය කිරිමට  හෝ අවස්ථාවක් සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ව්‍යාපාරිකයන්ට හිමිවිය යුතු බවද අජිත් ගුණස්කර මහතා කීවේය.  කුකුළු මස් කිලෝවක් සඳහා වන රුපියල් 430ක පාලන මිල මේ වනවිට ක්‍රියාත්මක නොවන බව ද ඔහු සඳහන් කළේය.


 -රංජන් කස්තුරි-