baddegama-covid19

ගාල්ල බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් 12කට හා සේවකයින් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බැවි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.   මෙම ළමා නිවාසයේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි සේවකයකුට ඉකුත් දිනක කොරෝනා ආසාදනය වී ඇති අතර එම සේවකයා සමඟ ළඟින් ඇසුරු කළ සේවකයන් දෙදෙනකු හා ළමුන් දහනව දෙනකු ඉකුත් 12 වැනිදා පරීක්ෂණයකට භාජනය කර ඇත. මෙම පරීක්ෂණ වාර්තා 15 වැනිදා ලැබී ඇති අතර එම අය අතුරෙන් පරිවාස ළමුන් දොළොස් දෙනකුට හා සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බැව් තහවුරු කරගෙන ඇත. එම කොරෝනා ආසාදනය වූ ළමුන් හා සේවකයන් දෙදෙනා ආරච්චිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකොට ඇත.




මෙම පරිවාස භාරයේ ඇති ළමා නිවාසයේ පරිවාස ළමුන් හැට පස් දෙනකු හා සේවකයන් පහළොස් දෙනකු සිටින අතර පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු නොකර සිටි  අනෙකුත් ළමයි හා සේවකයන් පී.සී.ආර්. පරික්ෂණ සඳහා  යොමු කිරීමට නියමිත බැව් සෞඛ්‍ය නිලධාරීහු පැවැසූහ. බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය බී.එස්. ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි පරිපාලන මහජන  සෞඛ්‍ය පරික්ෂක කේ.පී. නවරත්න මහතා ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු මෙම රාජකාරිය ඉටු කර ඇත.


  -සිරිනිහාල් ගමගේ-