sri lanka covid spread daily update

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 




දෙමටගොඩ

ඉන්දියාවේ වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් පස්දෙනා සිටින දෙමටගොඩ 66 වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ට තවත් දින එකොළහක් ඇතුළතදී විශේෂ පීසිආර් පරීක්ෂණ සහ විශේෂ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි පැවසීය.
ඊයේ (21දා) සෞඛය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේ ඔහු ප්‍රකාශ කළේ මෙම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේද හඳුනාගත් 66 වත්ත ප්‍රදේශය දින 10ක් පමණ කාලයක සිට විශේෂිත ක්‍රමවේදයකට හුදෙකලා කිරීමට ක ටයුතු කර ඇති බවය.
මෙම ඩෙල්ටා ප්‍රභේද ආසා දිතයන්ගෙන් තිදෙනෙක් එක් නිවසකින් වාර්තා වූ බවත් අනෙක් තිදෙනා තවත් නිවාස දෙකකින් වාර්තා වූ බවත් වෛද්‍ය රුවන් විජයමුණි පැවැසීය.
මෙහිදී ඔහු ප්‍රකාශ කළේ ජනාකීර්ණ දෙමටගොඩ පෙදෙසේ මෙම වසංගතය පාලනය කිරීමේ අරමුණින් දෙමටගොඩ පොදු වෙළඳසල විවෘත කිරීමටද තමා අවසර ලබා නොදුන් බවය.
එසේම කොළඹ නගරසභා සිමාවෙන් මේවන විට දෛනිකව කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ 75 කු පමණ බවත් එන්නත්කරණ වැඩපිළිවෙළද සාර්ථකව සිදුකරන බවත් ඔහු කීය.
කෙසේ වුවද කොළඹ නගරසීමාව තුළ පුද්ගලයන් පිසීආර් පරීක්ෂණ සිදු කිරීමට අකමැත්තක් දක්වන බවත් එය විශාල අභියෝගයක් බවද ඔහු පැවැසීය.


 ඌව පරණගම

ඌව පරණගම පොලිසියට අනුයුක්තව සේවය කරන කාන්තා පොලිස් සැරයන්වරියකට සහ ඇයගේ දරුවන්, සැමියා, මව ඇතුළු එකම පවුලේ හයදෙනකුට කෝවිඩ් 19  ආසාදිත වී ඉකුත් 19 වැනිදා බිඳුනුවැව, දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. ඌව පරණගම ලුනුවත්ත ප්‍රදේශයේ පදිංචි ඌව පරණගම පොලිසියට අනුයුක්තව සේවය කරන මෙම කාන්තා පොලිස් සැරයන්වරියගේ සැමියා රත්නපුර පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු බවත් කාන්තා පොලිස් සැරයන්වරියගේ මවට 17 හැවිරිදි පුතාට, 12 හැවිරිදි දියණියට සහ 7 හැවිරිදි කුඩා පුතුට මෙසේ කෝවිඩ් ආසාදිත වී ඇති බව ද සෞඛ්‍ය බලධාරිහු සඳහන් කළහ.

අඹගමුව

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන 315-ඒ ග්‍රාමසේවා වසමේ කැරොලයිනා කඩවල වතු යායේ කොටස ඊයේ (21) අලුයම 4 සිට හුදෙකලා කළ බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පැවැසීය. කැරොලයිනා වතු යායට අයත් කඩවල වතු යායේ පවුල් 198 කට අයත් සමාජිකයන් 850 ක් පමණ පදිංචිව සිටින අතර එම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ අසාදිතයකු මියයාමෙන් පසු සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ අනුව අසාදිතයන් ගණනාවක් හමුවීම නිසා එම ප්‍රදේශය හුදෙකලා කර තැබීමට පියවර ගත් බව එම නිලධාරියා කීය. හුදෙකලා කරන ලද ගිනිගත්හේන කඩවල වතුයායට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.




පොලොන්නරුව

පොලොන්නරුව, ලක්ෂ උයන කර්මාන්තපුරයේ පිහිටි සහල් නිවාඩු භාවිතයෙන් තෙල් නිපදවන කර්මාන්ත ශාලාවක සේවය කරන පුද්ගලයන් 21 දෙනකුට කොරෝනා ආසාදනයවි ඇතැයි පොලොන්නරුව, තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. මෙම කොරෝනා ආසාදිතයන් අතර ඉන්දියානු ජාතිකයන් සහ මඩකළපුව ප්‍රදේශයෙන් පැමිණි ද්‍රවිඩ ජාතිකයන්ද සිටින බව අනාවරණය වී ඇත.  ඔවුන් සියලුම දෙනා මේ වනවිට කන්දකාඩුව සහ පුනානී ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇතැයි තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි,වෛද්‍ය ඉන්දික අංගම්පොළ මහතා ප්‍රකාශ කළේය. වනවිට මෙම ආසාදිතයගේ ආශ්‍රිතයන් හඳුනාගනිමින් සිටින බවත් ඔවුන් සියලුම දෙනා ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරිමට පියවර ගෙන ඇතැයි ද ඒ මහතා කීය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මේ වන විට තුන්වැනි රැල්ලේ කොරෝනා ආසාදිතයන් 1466 දෙනකු හමු වී ඇතැයි පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ ප්‍රකාශ කළේය. දිස්ත්‍රික්යේ මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ ගණන 33ක් බවද ඒ මහතා කීය.

වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. ඒ මරණ ගණන 10කි. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛයාව 417කි. එම කොට්ඨාසයෙන් වාර්තා වන කොරෝනා මරණ ගන 07ක් ලෙස සඳහන් වේ. තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමු වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 353කි. ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්ද කොරෝනා මරණ 07ක් වාර්තා වන අතර එහි ආසාදිතයන් ගණන 119කි.

අඩුම මරණ සංඛ්‍යාව වන එක් මරණයක් සිදුව ඇත්තේ අරලගංවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේයි. එහි ආසාදිතයන් ගණන 102කි. මැදිරිගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් කොරෝනා මරණයක් හෝ වාර්තා නොවන අතර එහි ආසාදිතයන් සංඛ්‍යාව 94කි. ඇළහැර සහ සිරිපුර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල එක් කොට්ඨාසයක මරණ 03 බැගින් සිදු වී තිබේ. ඇළහැර කොට්ඨාසයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 178ක්ව න අතර සිරිපුර කොට්ඨාසයෙන් ආසාදිතයන් 103ක් වාර්තා වී තිබේ. වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා මරණ 02ක් වාර්තාවන අතර එහි හමු වී ඇති ආසාදිතයන් ගණන 100කි.

සමස්තයක් වශයෙන් ගත්කල මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්යේ කොරෝනා රෝගීන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

වැලිකන්ද
ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්ද කොරෝනා මරණ 07ක් වාර්තාවන අතර එහි ආසාදිතයන් ගණන 119කි. තුන්වැනි කොරෝනා රැල්ලේ අඩුම මරණ සංඛ්‍යාව වන එක් මරණයක් පමණක් මෙතෙක් සිදුව ඇත්තේ අරලගංවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේයි. එහි ආසාදිතයන් ගණන 102කි. මැදිරිගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් එක් කොරෝනා මරණයක් හෝ වාර්තා නොවන අතර එහි ආසාදිතයන් සංඛ්‍යාව 94කි. ඇලහැර සහ සිරීපුර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල එක් කොට්ඨාසයක මරණ 03 බැගින් සිදුවී තිබේ. ඇලහැර කොට්ඨාසයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 178ක් වන අතර සිරිපුර කොට්ඨාසයෙන් ආසාදිතයන් 103ක් වාර්තාවී තිබේ.  වැලිකන්ද සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා මරණ 02ක් වාර්තාවන අතර එහි හමුවී ඇති ආසාදිතයන් ගණන 100කි.

මාදම්පේ

හුදකලා කර ඇති මාදම්පේ, මරක්කලගම ගම්මානයෙන් සතියකදී කොවිඩ් ආසාදිතයන් 146 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
මීට පෙර එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 73 දෙනකු හමුවූ අතර, ඉන් පස්දෙනකු මිය ගොස් ඇත. අනතුරුව පසුගිය 18 වැනිදා අදාළ ප්‍රදේශයේ පුද්ගලයන් 204 දෙනකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ. ඒවායේ ප්‍රතිඵල අනුව තවත් 73 දෙනකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.


ඉඳුරුව

මේ වනවිට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් හැත්තෑ දෙදෙනකු (72) හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තියයි. හඳුනාගත් කොවිඩ් 19 න් රෝගීන් සියලු දෙනාම රෝහල් ගත කිරීමට පියවර ගත් බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති බවත් එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

කුට්ටිගල

කුට්ටිගල පොලීසියේ පස් දෙනකුට කෝවිඩ් 19 වයිරසය ආසාදිත වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන් පස් දෙනකු පිටස්තර ප්‍රදේශවල පදිංචි නිලධාරින් වන අතර  එක් අයකු එම කොට්ඨාසයේ පදිංචි නිලධාරියෙකි. ඔහුගේ පළමු  පෙළ ආශ්‍රීත නිලධාරින් මේ මස 23දා පිසීආර් පරික්‍ෂණවලට යොමු කිරිමට නියමිතය. මේ අතර කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දාපන්නේ ග්‍රාම නිලධාරි වසම 21දා අලුයම සිට ලොක්ඩවුන් කර ඇත. එම වසමෙන් කෝවිඩ් 19 ආසාදිතයන් 69ක් වාර්තාවීම ඊට හේතුවයි. එසේම රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළඳගල, මුල්ලෙකන්ද වත්ත කොට්ටල ග්‍රාම සේවා වසම ද ලොක්ඩවුන් කර ඇත.

පොල්පිතිගම

පොල්පිතිගම නගරය තුළ ඉකුත් 17 වැනිදා අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් සිය දෙනකු සහභාගි කරගෙන සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ අතරීන් අට දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි පොල්පිතිගම ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරික නාලක චන්ද්‍රසේස්කාර මහතා පවසයි. නගරයට පැමිණි පිරිස් අතරින් පොල්පිතිගම ප්‍රාදේශීය සභාව අසල සීමාවක සෞඛ්‍ය අංශ හා පොලීසිය එක්ව සිදුකළ පරික්ෂණ සඳහා වාහනවලින් හා පා ගමනින් පැමිණි විවිධ තරාතිරමේ පිරිස් මේ සඳහා සහභාගි කරවා ගන්නා ලදි.


නිකවැරටිය

නිකවැරටිය ප්‍රදේශයෙන් නව වැනි කොරෝනා මරණය වාර්තා වන බව සෞඛ්‍ය අංශ 21 වැනිදා පැවසීය. මෙසේ මරණයට පත්ව ඇත්තේ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 30 වියැති පුද්ගලයකු වන අතර මොහු කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් නිකවැරටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් මෙලෙස මරණයට පත්ව ඇති බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.  සිංහල අවුරුදු වලින් පසුව නිකවැරටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 337ක් මේ වන විට වාර්තා වන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


කොත්මලේ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ග්‍රාමසේවා වසම් 05ක් ඊයේ (21) අලුයම සිට හුදෙකලා කළ බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල වික්‍රමසිංහ මහතා පැවැසීය. කොත්මලේ කළුඳුබුල, හපුගස්තලාව, වීරපුර, බෙරමාන්න දකුණ  සහ පහළ ගොරකඔය යන ග්‍රාමසේවා වසම් හුදෙකලා කළ බව බන්දුල වික්‍රමසිංහ මහතා කියයි. බෙරමාන්න සහ පහළ ගොරකාශය ග්‍රාමසේවා වසම්වල පෙර අසාදිතයන් ආශ්‍රිතයන් 140 දෙනකුගෙන් සිදු කළ පී.සී.ආර්. පරික්ෂණ අනුව 75 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවත්, නව අසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් හුදෙකලා කළ සෙසු ග්‍රාමසේවා වසම්වල පදිංචිව සිටින බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසයි.




වැලිගම

 වැලිගම පොලිස් බල ප්‍රදේශයේ පැළැන දකුණ 360 බී ග්‍රාම සේවා වසම හුදෙකලා බවට පත් කර ඇත.  මෙම ප්‍රදේශයේ පවුල් 200 ක් ජීවත් වන අතර පුද්ගලයන් 596 දෙනෙක් සිටිති.  මෙම ප්‍රදේශයෙන් සිදු කරන පී.සී.ආර්. පරික්ෂණවලින් කෝවිඩ් ආසාදිතයන් 59 ක් අණාවරණය වී ඇත. මෙම හුදෙකලා කළ ප්‍රදේශයට මුදල්ලගහවත්ත ග්‍රාමයේ නිවාස 38 ක්ද, ජයරළපුර ග්‍රාමයේ නිවාස 20 ක් ද, පැළබණ්ඩාරවත්ත  ග්‍රාමයේ නිවාස 20 ක් ද, වැල්ලඅද්දරවත්ත ග්‍රාමයේ නිවාස 12 ක්ද අයත් වේ.

දෙගල්ල  

 හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත් දොඩන්දූව ප්‍රදේශයේ අහඹු ලෙස 100කට කරන ලද පී.සී. ආර්. පරික්ෂණවල දෙගල්ල එකම ගමේ 24 දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.  තවද පසුගිය දින තුළ තිරාණගම ප්‍රදේශයේ 100කට කරන ලද  පී.සී.ආර්. පරික්ෂණවලින් දෙදෙනකුද කළුපේ ප්‍රදේශයේ 60කට කරන ලද පරික්ෂණවලින් දෙදෙනකු ද කොරෝනා ආසාදනය වී  ඇතැයි වැඩිදුරටත් පවසයි.


බේරුවල

බේරුවල දින ගොඩ පත්තෙ කඩේ ප්‍රදේශයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකින් පුද්ගලයන් විසිහත් දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු කරන්ගෙන ඇතැයි බේරුවල නගර සභාවේ මහජන සෞඛ්‍ය අංග සහ බේරුවල පොලිසියේ කොරෝනා පැතිරයාම වැළැක්වීම ඒකකයේ නිලධාරිහු පැවැසූහ. මෙම ප්‍රතිදේහ පරික්ෂණය සඳහා පුද්ගලයන් සිය දෙනකු ලක් කිරිමෙන් අනතුරුව නව කොරෝනා ආසාදිත පුද්ගලයන් 27 දෙනකු හඳුනා ගැනීමට හැකිවී ඇතැයි එම නිලධාරිහු පැවසූහ.


 ගම්පහ

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (21) උදෑසන වනවිට ගත වූ පැය 24ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 612 දෙනකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි. මින් වත්තල කර්මාන්ත ශාලාවකින් හමුවූ ආසාදිතයන්ද සමග 173 දෙනකු වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් හමුව ඇත. මෙම දිස්ත්‍රික්කයෙහි සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 14 ආශ්‍රිතව ඊයේ (21 වැනිදා) උදෑසන වනවිට ගතවූ පැය 24 තුළ ආසාදිතයන් හමුවීම , බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් | කොට්ඨාසයෙන් - 65 දෙනකු , මහර - 58 ක්, කැලණිය - 45 ක්, අත්තනගල්ල - 43 ක්, මීරිගම - 36 ක්, දිවුලපිටිය - 35 ක්, මිනුවන්ගොඩ - 34 ක්, දොම්පෙ - 28 ක්, ජාඇල - 24 ක්, කටාන - 25 ක්, ගම්පහ - 20 ක්, සීදුව - 16 ක්, රාගම - 11 ක් සහ මීගමුව කොට්ඨාසයෙන් තිදෙනකු වශයෙන් හමුව ඇත.


තෙල්දෙණිය

පෙනහළු ආබාධයකින් අසාධ්‍ය තත්වයට පත්වූ තෙල්දෙණිය පොලිස් වසමේ දිගන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි අයකු තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මරණයට පත්වීමෙන් පසු එම මියගිය පුද්ගලයාගේ දේහය පී.සී.ආර්. පරික්ෂණයට යොමු තරනලදුව ඔහුට කොවිඩ් ආසාදිත වී ඇති බවට වෛද්‍ය පරිණයේදී තහවුරු වී තිබේ. මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරික්ෂණය තෙල්දෙණිය මූලික රෝහලේ හදිසි මරණ පරික්ෂක ඩබ්.එම්. නෝමන් කොස්තා මහතා විසින් පවත්වා, සෞඛ්‍ය අංශ නිලධාරින්ගේ උපදෙස් මත දේහය ආදාහනය කිරීමට පියවර ගත් බව රෝහල් වෛද්‍ය ප්‍රකාශකයෙක් කීය.


සියඹලාපේවත්ත

කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීම හේතුවෙන් බියගම මැතිවරණ කොට්ඨාසයේ මිගහවත්ත පොලිස් වසමේ අංක 274/බී. සියඹලාපේවත්ත සහ බියගම පොලිස් වසමේ අංක 274/බී. යටිහේන ග්‍රාම නිලධාරි වසම් පෙරේදා (20) පස්වරුවේ සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කර ඇතැයි බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් පෙරේරා මහතා පැවසීය.  පසුගිය දින 14 තුළ මෙම ප්‍රදේශවල සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ සහ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ මගින් සියඹලාපේවත්ත ග්‍රාමයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 26 දෙනකු සහ යටිහේන ප්‍රදේශයේ ආසාදිත පුද්ගලයන් 68 දෙනකු හමුවී ඇති බවත් හෙට සහ අනිද්දා දිනවල මෙම ප්‍රදේශවල පී.සී.ආර්. පරික්ෂණ නැවත සිදු කිරීමට නියමිත බවද බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්‍ෂක සමන් පෙරේරා මහතා පැවැසීය.


බටපොළ

 බටපොළ නගරයේ අහඹු ලෙස සිදුකළ පී.සි.ආර්. සියයෙන් කිසිදු  ආසාදිතයකු වාර්තා නොවූ බව අම්බලන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඊයේ (21 වැනිදා) සඳහන් කළේය. බටපොළ නගරයේ සිදුකළ පී.සී.ආර්. පරික්‍ෂණ සියල්ලම සෘනාත්මකවීම පිළිබඳව සිය කාර්යාලය සතුටට පත්වන බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීවේය.මේ ආකාරයට ජූනි (19) අම්බලන්ගොඩ නගරයේද අහඹු ලෙස පී.සී.ආර්. පරික්ෂණ සියයක් සිදුකළ බවත් එහි ප්‍රතිපල ඉදිරි දිනවලදී ලැබීමට නියමිත බවත් එම ප්‍රකාශකයා කීවේය.


 බුලත්කොහුපිටිය

බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ලැවල, බුලත්කොහුපිටිය, කැන්දව, හාතාගොඩ යන ග්‍රාම සේවා වසම්වල කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයන් අහඹු ලෙස සොයා සිදු කළ පී.සී. ආර්. පරික්ෂණයකින් දෙනකුට රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇති බව බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මෙම මස 17 වැනිදා 320 දෙනකු මෙසේ පී.සී.ආර්. පරික්‍ෂණයට ලක් කරන ලදුව 19 වැනිදා පැමිණි වාර්තා අනුව මෙසේ තහවුරු වී ඇත. රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා පිටත්කර හැරිම එදිනම සිදු කෙරුණි.




ගාල්ල

හතිය රෝගය නිසා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දෙදරු මවක් කොරෝනා නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවති හදිසි මරණ පරික්ෂණයකදී අනාවරණය විය. මියගොස් ඇත්තේ බද්දේගම සන්දරවල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි වියේ පසුවන දෙදරුමවකි. මෙම මව හතිය රෝගය නිසා පසුගිය 28 වැනිදා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත. රෝහලේදී කරනු ලැබූ පී.සී.ආර්. පරික්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 19 වැනිදා මියගොස් ඇත. මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල  කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් සිදුකරනු ලැබීය.

පශ්චාත් මරණ පරික්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය විසින් කරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා කොවිඩ් නිව්මෝනියාවෙන් මරණය වී ඇති බවට තීන්දු කළේය.

 දකුණු පළාතෙන් පෙරේදා (20) නව කොණ්ඩ ආසාදිත රෝගීන් 220 දෙනකු වාර්තා වී ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.  ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 152ක් මාතර දිස්ත්‍රික්කයෙන් 47 දෙනකු, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 27 දෙනකු, වාර්තා වී ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළදී දකුණු පළාතෙන් වාර්තා වී ඇති නව කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 19,668ක් බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ය කාර්යාලය පවසයි.


දෙහිවල

දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ නැගෙනහිර කවුඩාන සිරිසගබෝ පාර,  ඇලරික්ස්වත්ත හා ශාන්තාරාම කලාපයක් යන ප්‍රදේශවල ඉකුත් 18 වැනිදා පුද්ගලයන් 143 දෙනකුට සිදුකළ පී.සී. ආර්. පරිෂණවලට අනුව 20 වැනිදා පැමිණි වාර්තවලින් පුද්ගලයන් 23 දෙනකුට කොරෝනා වයිරස ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.මේ අනුව ඇලරික්ස්වත්ත ප්‍රදේශයේ හඳුනාගත් ආසාදිතයන් 19 ක් හා ශාන්තාරාම කලාපයෙන් පුද්ගලයන් 2 ක්ද, නගර සභා සේවකයන් 2 ක්ද එදිනම ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත යොමු කිරිමට කටයුතු කළ අතර, කලාප තුළ සංවරණ සීමා දැඩිලෙස සීමා කිරීමටත් කටයුතු කරනු ලැබ ඇත.


හබරාදුව

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හබරාදුව ඌරගන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි අවිවාහක පුද්ගලයකු මියගොස් ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.  මෙම පුද්ගලයා පෙරේදා (20) තම නිවසේදී මියයෑමෙන් පසුව තල්පෙ මහජන සෞඛ්‍ය පරික්ෂක විස්මිත් සතරසිංහ මහතාගේ උපදෙස් පරිදි මෘතදේහය කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනගොස් කරන ලද පී.සී.ආර්. පරික්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් මොහු මියගොස් ඇති බව අනාවරණය වී තිබේ. අවිවාහක අයකුවූ මියගොස් ඇති පුද්ගලයා අවිවාහක තම සොහොයුරා සහ සොහොයුරිය සමග නිවසේ ජීවත්ව සිටි බවත් මුත්‍රා ආබාධයකින්ද පෙළෙමින් සිට ඇති අතර මොහු මීට පෙර කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා නිවසට පැමිණ සිටියදී මියගොස් ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.


මාරහේනගම
කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමග වසා දැමුණ ගිනිගත්හේන මොරහේනගම පෞද්ගලික ඇගලුම් කම්හලක් යළි විවෘත කිරිමට උපදෙස් දුන් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ එම නිලධාරියා පැවසුවේ මෙම ඇඟලුම් කම්හලේ සේවය කරන පිරිසක් කොරෝනා  ආසාදිතයන් ලෙසට හඳුනා ගැනීමත් සමඟ එම ඇඟලුම් කම්හල තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබාදුන් බවත්ය.




බදුල්ල

බදුල්ල සතොස ආයතනයේ කළමනාකාරවරිය හා ආරක්ෂක නිලධාරියකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීම නිසා ඊයේ (21) දහවල් සිට මෙම ආයතනය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පියල් පද්ම මහතා පැවැසීය.ඉකුත් 17 වැනිදා බදුල්ල වෙලේකඩේ දී සිදු කළ අහඹු පී.සී.ආර්. පරික්ෂණ වාර්තාව 21 දින ලැබුණු අතර එම වාර්තාවට අනුව මෙම දෙදෙනා ඇතුළු 5 දෙනකු ආසාදිතයන් බව තහවුරු වූ බව පියල් පද්ම මහතා සඳහන් කළේය.  සතොස ආයතනයේ දී හමු වූ ආසාදිතයන් දෙදෙනා නිසා ඔවුගේ ආශ්‍රිතයන් ලෙස සළකා එම කාර්ය මණ්ඩලය පී.සී.ආර්. පරික්ෂණයට ලක් කිරීමට තීරණය කර ඇති අතර එතෙක් ඔවුන්ට ස්වයං නිරෝධායනයට ලක් කළ බව ද සඳහන් කළේය.අනෙක් තිදෙනා අතර හාලිඇල පදිංචි දෙදෙනකු හා මොනරාගල පදිංචිකරුවකු ද සිටින බව පැවසීය. මීට අමතරව ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පවුල්වල සාමාජිකයන් පිරිසක් පී.සී.ආර්. පරික්ෂාවට ලක්කර තිබු අතර  ඔහුගෙන් 7 දෙනකු ද ආසාදිතයන් බවට එම වාර්තාවලින් අනාවරණය වී තිබේ.


උඩදුම්බර

උඩදුම්බර පොලිස් වසමේ අවමංගල්‍ය අවස්ථාවකට සහභාගී වූ  පුද්ගලයන් 13 දෙනෙකු කොවිඩ් ආසාදිත තත්වයට පත්වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් 9 දෙනකු හඳුනාගෙන ඇතැයි උඩදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ප්‍රකාශකයෙක් පැවසීය.  උඩදුම්බර කළුගල ගම්මානයේ කොවිඩ් ආසාදිත වූවන් 13 දෙනකු පී.සී.ආර්. පරික්ෂණයේදී හඳුනාගත් බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් කොවිඩ්  නිරෝධායන මධ්‍යස්ථානය වලට යොමුකර ආසාදිත වූවන් සියලු දෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බවත් උඩදුම්බර සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි සජීව රණසිංහ මහතා කළ විමසීමකදී ප්‍රකාශ කළේය. මෙම සිද්ධියට අදාළව කරුණු විමසීමේදී උඩදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසුවේ ආසාදිතයන්, ආශ්‍රිතයන් හඳුනා නොගතත්තා නම් උඩදුම්බර ප්‍රදේශයේ රැසකට කොවිඩ් වයිරසය ආසාදිත වන බවයි.


 පස්ගොඩ

මාතර පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඌරුබොක්ක, හීගොඩ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොරෝනා ආසාදිතව පසුගිය 20 වැනිදා කඹුරුගමුව රෝහලේදී මියගොස් ඇති බව රෝහල් ආරක අංශයේ නිලධාරියෙකු පැවැසීය.  මියගිය අය කඹුරුපිටිය රෝහලෙන් මාතරට මාරු කර යවා, මාතරින් කඹුරුගමුව රෝහලට මාරුකර යැවූ රෝගියකු බවද හෙතෙම පැවැසීය.