මෙරට මුහුදු සීමාවේ දී ගිනිගෙන විනාශ වූ ‘ එස්ක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ කපිතාන්වරයා සහ මෙරට නියෝජිතයා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ දස දෙනකුට සිතාසි නිකුත් කරන  ලෙස අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට  අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඊයේ (07) ප්‍රතික්ෂේප කළාය.  මෙම සිද්ධියට අදාලව සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත ප්‍රකාරව ඉහත නිලධාරින්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත්කිරීමේ බලයක් මෙම අධිකරණයට නොමැති බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීති මණ්ඩලය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත්  මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.




“එස්ක්ස්ප්‍රස් පර්ල් ” නෞකාවේ ගිනිගැනීමේ  සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (07) යළි අධිකරණය  හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු  ඉදිරිපත් විය.  පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර්ජනරාල් මාධව තෙන්නකෝන්  මහතා සමඟ අපරාධ පරික්ෂණයට  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ  නිලධාරි මණ්ඩලය අධිකරණයේ පෙනී  සිටියහ. මෙම ගිනිගත් නෞකාවේ වී.ඩී.ආර්. යන්ත්‍රයේ දත්ත පිළිබඳව තව දුරටත් පරික්ෂණ සිදුකරගෙන යෑමට ද මෙහිදී අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය අවසර ලබා දුන්නේය.  මුහුදේ ගිලෙමින් ඇති නෞකාවේ ආරක්ෂාව තර කරන ලෙස නාවික හමුදාවට  මෙහිදී අධිකරණ නියෝගයක්ද නිකුත්  කළේය.


පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව  කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ නෞකාවේ වගකිය යුත්තන් හිතාමතාම යම් කරුණු වසන් කිරිමක් සිදුකර අප රටේ මුහුදු සීමාවට පැමිණ ඇති බව මෙතෙක් කරන  ලද විමර්ෂණවල දී තහවුරු වී ඇති බවය.  නොකාවේ මෙරට නියෝජිත ආයතනය නෞකාවේ කපිතාන්වරයා වෙත යවා තිබූ ඊමේල් කීපයක් මකාදමා ඇති බවටත් තොරතුරු හෙළිවී ඇති බවත් ඒ හේතුවෙන් එම ඊමේල් ලිපිනයට අයත් ආරක්ෂිත ඊමේල් ගොනුව තම දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට නැවේ දේශීය නියෝජිතයාට නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේතුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.




මෙම නෞකාවේ ගින්න ඇතිවී තිබුණේ නයිට්‍රික් අම්ලයෙන් බවට තොරතුරු අනාවරණ වුවත් එම ගින්න ප්‍රථමයෙන් ඇමෝනියා අම්ලයෙන් හටගෙන ඇති බවට  දැනට කරන ලද විමර්ෂණවල දී හෙළි වී ඇති බව ද අපරාධ පරික්ෂණ  දෙපාර්තුමේන්තූව අධිකරණයට දැනුම් දුන්නේය. මෙම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරින්ගෙන් ලබාගත් සියලුම  ප්‍රකාශ එකිනෙකට පරස්පර බවත් ඒ හේතුවෙන් වැඩි දුරටත් විමර්ෂණ සිදු කෙරෙමින් පවතින බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුනේය.  ඉදිරිපත් වූ කරුණ සැළකිල්ලට ගත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ඉල්ලීම් කළ ඊ මේල්වල ආරක්ෂිත ගොනුව ලබාදෙන ලෙසට නෞකාවේ දේශීය නියෝජිතයාට නියෝග කරමින් සිද්ධිය අදාල නඩුව ලබන 15 වැනිදා  තෙක් කල් දැමීමට නියම කළේය.


මෙම නෞකාවේ කපිතාන්වරයාට, ප්‍රධාන ඉංජිනේරුවරයාට සහ නියෝජ්‍ය  ඉංජිනේරුවරයාට ඊයේ අධිකරණයේ පෙනී සිටින ලෙස මින් පෙර නඩු දිනයේ දී අධිකරණය සිතාසි නිකුත් කර තිබුණ ද ඔවුන් ඊයේ අධිකරණයේ පෙනී සිටියේ නැත. ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සරත් ජයමාන්න සහ අනුර මැද්දෙගොඩ යන මහත්වරු ඇතුළු  නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

 -නිමන්ති රණසිංහ-