yala-french

රට පුරා කෝවිඩ් 19 වෛරසය පැතිර යෑම හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානය ඇතුළු රට පුරා  සියලු ජාතික උද්‍යාන සංචාරකයන් සඳහා වසා තිබෙන මොහොතක අද (08දා) පැය කිහිපයක් සදහා ප්‍රංශ සංචාරක පිරිසකට පමණක් යාල ජාතික වනෝද්‍යානය විවෘත කර නැරඹීට අවස්ථාව ලබාදීම පිළිබඳව අපි සිය බලවත් විරෝධතාව පළ කරන බව යයි යාලගම ජිෆ් රථ සංගමයේ ලේකම් සම්පත් ගලප්පත්ති මහතා පැවසීය.  

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, " අපිට දැනගන්න ලැබුණා අද (08) දිනයේ ජාතික වනෝද්‍යානය නැරඹීමට ප්‍රංශ ජාතික පිරිසක් පැමිණෙනවා කියා. අපිත් මේ සම්බන්ධයෙන් වගකිවයුතු කිහිපයකින්ම විමසීමක් කළා. එහිදී ඒ අය අපට කිවේ මෙය රාජත්‍රාන්ත්‍රික මට්ටමේ සිදු වෙන සංචාරයක් බවයි. මේ මොන මට්ටමේ සංචාරයක් වුණත් අපි කියන්නේ රට වසා තැබෙන මොහොතක, යාල ජාතික වනෝද්‍යාන සංචාරකයන්ට වසා තැබෙන මොහොතක එක් පිරිසකට විතරක් මෙලෙස යාල තුළ සංචාරයේ යෙදීමට අවස්ථාව දීම කිසිසේත්අනුමත කරන්නෙ බැහැ කියලයි. දැනට මේ වනවිට අපේ රට තුළ සිටින විදේශිකයන්ට කියා දේශීය සංචාරකයන්ටවත් යාලට ඇතුළු වෙන්න බැරි අවස්ථාවක තමයි මේ පිරිස යාලට රැගෙන එන්නේ. මේ අයගෙන් මුදල් අය කරලා තමයි මේ සංචාරය සිදු කරන්නේත්.


අපි දන්නේ නැහැ කාගේ ඉල්ලීමකට  කාගේ උවමනාවකට මේක වෙනවද කියලා. කොහොම නමුත් ජීෆ් රථ සංගමයක් විදියට අපි මේ සදහා තරයේ විරුද්ධයි.

අනික මේ ගමන සඳහා මේ වනවිට මෙය සංවිධානය කරන පිරිසගේ හිතවත් කම් අනුව ජිෆ්රථ 23ක් වෙන්කරගෙන තියෙනවා. අපි මේ සඳහා දැඩි විරෝධතාවක් පළකිරීමටයි සැළසුම් කරලා තිබුණේ. කෙසේ වෙතත් 06 වැනි අදින රාත්‍රියේ කිරින්ද පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අපි පොලීසියට කැඳවලා කිවුවා සංචාරක පිරිස එන තැනට යන්න දෙනන් බැහැ යම් අයෙකු එම ස්ථානයට ගියොත් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට ගන්නවා කියලා. ඒ පිළිබඳ සියලු සාමාජිකයන් දැනුවත් කරන්නෙ කියලත් මට කිවිවා. මේ වෙලාවේ නිලධාරින් අපේ අත් පා බැඳ දමා තමයි මේ සංචාරක පිරිස යාලට රැගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් සියලු පීෆ් රථ හිමියන් දැඩි විරෝධය පළ කරනවා” යැයි ද පවසා සිටියේය.මේ සම්බන්ධයෙන් යාල ජාතික වනෝදන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙලෙස පැවසීය. " අද (08දා) යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට 90 දෙනෙකුගෙන් සමන්විත ප්‍රංශ ජාතික නාවික හමුදා පිරිසක් පැමිණෙන බව දැනුම් දී තිබෙනවා.



ඔවුන් සඳහා පැය කිහිපයක් උදනය විවෘත කරන ලෙසත් දැනුම් දී තියෙනවා. ඒ හැරුණුකොට වෙනත් කිසිදු  සංචාරකයෙකුට වනෝද්‍යානය ඇතුළු වීමට අවසර ලැබෙන්නේ නැහැ. මේ පැමිණෙන පිරිස කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම ලබා ගත් පිරිසක් වන අතර මේ අය යාල ජාතික වනෝද්‍යානයට අමතරව උඩවලව හා මින්නේරිය උද්‍යානවලත් සංචාරය කිරීමට නියමිතයි. මෙය රාජතාන්ත්‍රික මට්ටමින් සිදුවන සංවාරයක් බව තමයි මා වෙත දැනුම් දී තියෙන්නේ. කෙසේ වෙතත් මේ එන පිරිසගෙන් යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වීමේදී අයකරන ගාස්තු පෙර පරිදිම අය කිරීමට අප කටයුතු කරනවා.”එමෙන්ම අපි මෙම සංචාරකයන්ගේ පැමිණීම තුළින් ප්‍රදේශයේ යම් උණුසුම් තත්වයක් ඇති වීමේ ප්‍රවණතාවක් තිබේද යන්න සම්බන්ධයෙන් කිරින්ද පොලිස් ස්ථානයෙන්ද විමසීමක් සිදු කළ අතර එහිදි ස්ථානාධිපතිවරයා පැවසුවේ එවැනි වාතාවරණයක් පිළිබඳ මෙතෙක් දැනුවත් වී නොමැති බවත් පැමිණෙන නාවික හමුදා සංචාරක පිරිස සදහා නාවික හමුදාව විසින්ම ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇති බවත්ය.

 (සූරියවැව නුවන් ජයසේකර)