රටේ පවතින සංචරණ සීමා කාලසීමාවේ  ප්‍රතිඵල නිවැරදිව දැනගැනීමට නම් තවත් සති තුනක් හෝ හතරක් බලා සිටිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. 

ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශාලාවේදී ඊයේ (07දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කී ඒ මහත්මිය,රජය. නිකුත් කරන දත්ත අනුව දෛනිකව රෝගීන්  3,000ක් පමණ වාර්තා වන අතර,රෝගීන් 10,000ක් පමණ සමාජයේ සිටින බවට එයින් ගම්‍ය වන බවද කියා සිටියාය.
"මීට සති කිහිපයකට පෙර අපි දැක්කා අපේ රෝහල් පද්ධතියට දරාගන්න බැරි තරම් රෝගීන් වාර්තා වෙනවා.

  ඒ හේතුව නිසයි රජය ලොණ්ඩවුන් එකකට යන්න තීරණය කළේ. එයින් වෙන්න තිබූ ව්‍යසනයක් වළක්වාගන්න හැකිවුණා. කොහොම නමුත් අපි මේ දිනවල දකින්නේ අගුලු දැමීමට පෙර කෝවිඩ් වෛරසය ආසාදනය වුණු රෝගීන් හා ඒ රෝගීන්ගේ මරණ. ඒ නිසා අපට මේ ලොක්ඩවුන් එකේ ප්‍රතිඵල දකින්න මේ කාලය කල් මදි.රටේ ආර්ථික හානියක් සිදුවෙමින් තමයි ලොක්ඩවුන් එකක් කරන්නේ. ඒ නිසා මේ වෙලාවේ ලොක්ඩවුන් එකේ ප්‍රතිඵල නිවැරදි ලෙස රටට ලබා ගන්න ජනතාව වශයෙන් තම තමන්ගේ සහාය ලබාදීම ඉතාම අවශ්‍යයි. එහෙම නැතිවුණාත් රටක් විදිහට බලාපොරොත්තු වන ප්‍රතිඵල ගන්න අපට බැරී වෙනවා. පසුගිය වර්ෂයේ අගුලු දැමීම හා වර්තමාන අගුලු දැමීම අතර ලොකු වෙනසක් දකිනවා.


පාරේ වාහන රාශියක් අපි දකිනවා. සේවකයන් ලිපි මගින් සේවා ස්ථාන සඳහා ගෙන්වා ගන්නවා අපි දැන් දකිනවා.

 

නමුත් කළ යුත්තේ බහුතරයකට නිවසේ සිට සේවය කරන්න අවස්ථාව ලබාදීමයි. යම් ආයතනයක කටයුතු සඳහා අත්‍යවශ්‍යම සේවකයන් හා අවම සේවක ප්‍රමාණයක් එළියට ආ යුතුයි. ඇතැම් ආයතන වගකීම් විරහිතව කටයුතු කරනවා. එය රටකට ඔරොත්තු දෙන්නේ නැහැ. මීළඟට මේ රෝගයට ගොදුරු වෙලා මිය යන්නේ ඔබද, මමද කියලා කියන්න කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා මම පෞද්ගලික අංශවලින් ඉල්ලනවා වගකීමෙන් කටයුතු කරන්න කියලා.රජයේ දත්තවලින් කියනවා ආසාදිතයන් දෙනිකව 3,000ක් පමණ හඳුනාගන්නවා

කියලා. ඒ කියන්නේ රෝගීන් 10,000ක් එළියේ ඉන්න බවයි. ඒ නිසා සේවා සඳහා එළියට එන හැමෝම තමන්ගේ වගකීම් නිවැරදිව පිළිපදින්න. ගෙදරට රෝගය ගෙනියන්න එපා. මීට අමතරව කියන්න ඕන අපි අනාගතයට කරන පුරෝකථන හා ලබාගන්නා තීරණ සාර්ථක වන්නේ දත්ත නිවැරදි වුණොත්. ඒ නිසා මේ රෝගය පාලනයට රජය නිවැරදි දත්ත ලබාදීමත් ඉතාම වැදගත්. රෝගය පාලනය කිමේදී ස්ථාන කිහිපයක් තියෙනවා විමර්ශනය කළ යුතුය. උදාහරණ ලෙස ආර්ථිකය ගෙනයන ඇතැම් කර්මාන්ත ශාලාහා වෙළෙඳ කලාප ක්‍රියාත්මක බව අපි දන්නවා. මේවායේ සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක වෙනවාද කියලා රජය මගින් විධිමත්ව විමර්ශනය කළ යුතුයි. ඒවායේ අවශ්‍ය පී.සී.ආර්. පරීක්‍ෂණ නියමිත පරිදි සිදු කරනවාද කියලා බලන්න අවශ්‍යයි. නැත්නම් ඔවුන් සමාජයට රෝගය ගෙන යනවා. 

 

මේ විමර්ශන කටයුතු රජය මගින් කළේ නැත්නම් රෝගය පාලනය කරගන්න අපට බැරිවේවි.


ඒ වෙත්ම මේ ලොන්ඩොවුන් කාලය තුළ රෝගීන් හඳුනාගැනීම, ප්‍රතිකාර කිරීම, එන්නත් කිරීම, සමාජයේ රෝගය පැතින්ම වැළැක්වීම හා රෝහල් පහසුකම් වැඩි කිරීම යන ඒවා ගැන ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුයි. මේ ලොක්ඩවුන් කාලයේ රෝහල් පහසුකම් වැඩි කිරීම මගින් අනාගතයේ යම් දිනක අවශ්‍යතාවක් මතුවුවහොත් භාවිතයට ගැනීමට හැකියාවක් ලැබෙනවා.

අපේ එන්නත්කරණය ගැන බැලුවොත් දීර්ඝකාලීනව රෝගය.පාලනයට ජනගහනයෙන් 70%කටවත් එන්නත් ලබාදිය යුතුයි. ඒ වගේම අවුරුදු 60ට වැඩි සියලුම දෙනා එනත්කරණය සඳහා යොමුවීම වැදගත්. එන්නත් මධ්‍යස්ථානවල අවුරුදු 60ට වැඩි අයට වෙනම පෝලීමක් හදලා ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදෙන්න කටයුතු කිරීම ඉතා වැදගත්. දැනට බහුලව ලබාදෙන සයිනෆාම් එන්නත මගින් වැඩි ආරක්ෂාවක් ලැබෙන්නේ දෙවැනි මාත්‍රාවත් ලබා ගත්තොත්. ඒ නිසා දෙවැනි මාත්‍රාවත් ගන්න උනන්දුවෙන්න. ඒ වගේම මූලික සෞඛ්‍ය පුරුදු තවදුරටත් පවත්වාගන්න. රජය ගෙනයන එනකරණ වැඩපිළිවෙළ ගැන අපි සතුටුවෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ටත් එන්නත් ලබාදීම වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදීමත් සිදුවිය යුතුයි” යැයිද වෛද්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියාය.

 (නදීශානි පතිරණ)