aravinda-sanga-murali-mahanama
ලංකා ප්‍රිමියර් ලීග් වැඩ කටයුතු වලින් තමන් ඇතුළු උපදේශක කණ්ඩායම ඉවත්ව යන බව  අරවින්ද ද සිල්වා මහතා ඊයේ දන්වා සිටියේය. අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශන මණ්ඩලයට හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම දෙදෙනා සමග මුත්තයියා මුරලිදරන් ද ඇතුළත් වෙති.


මෙම තරගාවලියේ කටයුතු සොයා බැලීම සඳහා අමාත්‍යංශ මට්ටමේ මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා ඇමති
නාමල් රාජපක්‍ෂ මහතා බලාපොරොත්තුවෙන් සිටි නමුත් තරගාවලිය වෙනමම කමිටුවක් මගින් නියාමනය කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දී ඇති මොවුන් දෙවැනි වරට පැවැත්වීමට සූදානම් කරමින් සිටින එල්.පී.එල්. තරගාවලියට සම්බන්ධ සියලුම කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බව දන්වා ඇත.
එල්.පී.එල්.  අළෙවිකරණ අයිතිය හිමිකරගැනීම වෙනුවෙන්, අයි.පී.ජී.-ඩුබායි
සමාගම විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතවී ඇති අතර   ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා
ක්‍රිකට් ආයතනයට තරගාවලිය ඇරඹීමේදී මුදල් ගෙවිය යුතුය. තරගාවලිය පවත්වන්නට එය රුකුලකි.ගිය වසරේ තරගය පවත්වද්දී ගිවිසුමේ ප්‍රකාරව මුදල් ගෙවා නැති අතර තරගයෙන් පසුවද ගෙවීම අතපසුකර ඇති බව වාර්තා විය. අයවිය යුතුව තිබූ මුදලින් තවත් සෑහෙන කොටසක් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට
ගෙවා නැත.
අයි.පී.ජී.-ඩුබායි සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 39 කි. ඉන්ගෙවා ඇත්තේ රුපියල් කෝටි 24 ක් පමණි. එයට හේතුව වී ඇත්තේ කොරෝනා නිසා පසුගිය වසරේ තරගාවලියෙන් රුපියල් කෝටි 60 ක් පමණ පාඩු වූ බව එම සමාගම මැසිවිලි නැගීමය.
එල්.පී.එල්. තරගාවලිය සඳහා වසර 2021 දැනටමත් ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ආරම්භ වී තිබේ.