vaccine-stories

 මීට කලකට පෙර වාර්තා වූයේ රජයේ සුවිශේෂ ඉහළ තනතුරු දරන අතළොස්සක් පිරිසක් හා ප්‍රභූ පැළැන්තියට ඇමරිකානු එන්නත් සීමිත තොග ගෙනවිත් රහසේ ලබාදී ඇති බවකි.
කොරෝනා එන්නත විදිමත්ව බෙදා නොහරින බවට මුල සිටම විවේචන පැවති අතර
කොරෝනා එන්නත කොළඹ මූලික කරගෙන පමණක් දැනට ලබාදීමත් පිටපළාත් අයට මේ දක්වා එන්නත නොලැබීමත් සමාජය තුළ අසමතුලිතතාවක් මතු කර ඇත.
 එසේම පළමු මාත්‍රාව ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාවට තොග අඩු බව පැවසීමෙන් පසු එය මදි පාඩුවී කණස්සල්ලට පත් ජනතාව කෙසේ හෝ එන්නතක් ලබාගැනීමට වෑයම් කිරීමත් ගැටලු මතු කර ඇත.
මේ වනවිට ඉන්දියාව එන්නත් අපනයනය දින නියමයක් නැතිව නවතා ඇති අතර ලංකාවට එම දෙවැනි මාත්‍රාව ඉල්ලා රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීම් සිදු කළත් ඒ සම්බන්ධයෙන් තවම විශ්වාසදායි ප්‍රතිචාර ලැබී නැත. මෙම පසුබිම තුළ ලබන මැයි 31 න් පසු ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව පමණක් ලබා දෙවැනි මාත්‍රාවට කාලයද ඉකුත්වූ ලක්ෂ පහමාරක ජනතාව එන්නත් බලාපොරොත්තු සුන් කරගන්නට නියමිතය.


රුසියාවේ ස්පුට්නික් එන්නතේ මුල් සාම්පල තොගය පමණක් ලංකාවට ලැබුණ අතර එහි දෙවන අදියර ලෙස විශාල තොග ඉදිරියේදී ලැබෙන බව දන්වා ඇත.
චීනයේ සිනොවැක් හා සයිනොෆාම් යන එන්නත් වර්ග දෙකින් එකක් වන සයිනොෆාම් තොගයක් ලංකාවට ගෙන්වා ඉතා වේගයෙන් ඒවා බෙදාහැරිය අතර සියයට 72.1 ක පමණක් සාර්ථකත්වය ඇතැයි පැවසෙන ‘සයිනොෆාම් වූහාන්‘ ප්‍රභේදය ලංකාවට ලබාදී ඇති බව වාර්තා විය.
එහි සාර්ථකවීමේ ප්‍රතිශතය ඇස්ට්‍රාසෙනිකාහි සියයට 81.6 තරම් නැතිවීම නිසා ලංකාවේ සෞඛ්‍ය අංශ වෙත ලබාදීමට එතරම් උනන්දුවක් නොවිණි. එසේම එය අවදානම් වයසේ අඩු ප්‍රතිශක්තිය පවතින අවුරුදු 60 ට වැඩි අයට ලබාදීමද අනුමත කර තිබුනේ නැත.
මේ අතර චීනයේ අනෙක් ප්‍රධාන එන්නත වූ සිනොවැක් ලංකාවේ නිෂ්පාදනය කරන්නට කැබිනට් මන්ඩල අනුමැතිය ලැබී ඇත්තේ තවම ලංකාවේ අත්හදාබලා නැති පසුබිමකය. එම එන්නත තවම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නැති අතර මුල් වාර්තාවල කියැවුනේ ලංකාවේ හදන්නට යන්නේ සයිනොෆාම් එන්නත බව පමණි. නමුත් පසුව වාර්තාවූයේ සිනොවැක් සමාගම ඔවුනගේ නිෂ්පාදනය මෙරට නිපදවන්නට අදහස් කර ඇති බවත් මහනුවර ප්‍රදේශයේ පුද්ගලික අංශයට අයත් නිෂ්පාදනාගාරයක් ඊට සාකච්ඡා අරඹා ඇති බවත්ය.
සිනොවැක් එන්නත සියයට 96 ක් සාර්ථක බව දන්වා වෙළෙදපොලට ඉදිරිපත් කළමුත් බ්‍රසීලයේ සාර්ථකවූයේ සියයට 50 කි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ නිසා එය අනුමත කිරීමට උන්නදුවක් දක්වා නැති බවද පැවසේ.
මේ අතර ලංකාවේ එන්නත් උමතුව නිසා දේශපාලනඥයින් හා සෞඛ්‍ය අංශවල පවුල්වල අයට හා හිතවතුන්ට මුල්තැන ලබාදෙමින් සුපුරුදු ලෙස අසාධාරණ ආකාරයට මෙම එන්නත් බෙදාහැරීම් වැඩසටහන් පසුගිය දිනවල වාර්තා විය.
‘අපේ ලිස්ට් එකට ඔයාලගෙ නම දාල දෙන්නම් දැන්ම එන්න‘
‘මං දන්වල තියෙන්නෙ නම කියලා ඇතුළ්වෙන්න පුළුවන්‘
‘අපේ චිට් එක අරගෙන යන අයට එන්නත ගන්න බාධාවක් නෑ‘ මෙම තැන්වලින් ඇසුණ කතාය.
කොරෝනා එන්නත් මුදලට අළෙවි කරන බවටද විවිධ ප්‍රචාරයන් සිදුවු අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රු 5000 ක් වියදම් කර ලබාගත හැකි බව කියැවුණ එවැනි අලෙවියක් සම්බන්ධ අනාවරණයක්ද පසුගිය දිනෙක කර තිබුණි.
නමුත් තමන්ගේ රැකියාවටද ප්‍රශ්නකාරී වන එම ගැටලුව සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පරිස්සමින් කරුණු පැහැදිලි කළේය.


එවැනි කාරණයක් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය තොරතුරු හා සාධක සහිතව දැනුම්වත් වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ දන්වා සිටියේ එන්නත් සඳහා මුදල් ගෙවීමෙන් වැලකී සිටින ලෙසද දන්වමිනි.
මේ අතර කොරෝනා එන්නත ලබාදීමට පෙර පිරවිය යුතු පෝරමයත් යයි කියමින් රුපියල් 20 කට පෝරම අලෙවි කිරීමේ පුවතක්ද මතුගම ප්‍රදේශයෙන් වාර්තා විය. ග්‍රාමනිලධාරී වසම් වල පදිංචිකරුවන්ට සහ රාජ්‍ය ආයතන වල කාර්යමණ්ඩලවලට තද බදයකින් තොරව එන්නත ලබාගැනීමට හැකිවන පරිදි මෙම කටයුතු සංවිධානය කරන බව එහිදී කියා තිබුණි. එය මගඩියක් බව පසුව හෙළි විය.
ඔන්ලයින් ක්‍රමයට රජයේ ලියාපදිංචිවී එන්නත් ලබාදීම නව ඩිජිටල් ක්‍රමයකට සිදුකරන බවත් එන්නත් ලබාගත් අයට සහතික පවා නිකුත් කරන බවත් දක්වමින්  පසුගියදා පුවතක් හුවමාරුවූ නමුත් තවම එවැනි යොමුවක් ප්‍රසිද්ධ කර නැති අතර එන්නත් නොලද බහුතර පිරිසක් ජීවිත අවිනිනිශ්චිතභාවයෙන් බලාපොරොත්තු සහිතව තවම පසුවෙති.