train-sri-lanka

දුම්රිය රියැදුරු, නියාමක හා රියැදුරු සහායක යන කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනකුට කොරෝනා වයිරසය වැළඳී ඇති බවත් සෙසු දුම්රිය කාර්ය මණ්ඩල සඳහා විධිමත් සෞඛ්‍යාරක්ෂිත  ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමට දුම්රිය බලධාරින් මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් දුම්රිය සේවා පවත්වාගෙන යාමේ දැඩි අසීරුතාවක් පැන නැගී ඇතැයි ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජීනියර්ස් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි. 

මෙම තත්වයට කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉදිරියේදී දුම්රිය අවලංගු වීම් ඇති වී ධාවන කටයුතු අඩාල වීම වැළැක්විය නොහැකි බව ද ඔහු කීය.


මේ වනවිට දුම්රිය රියැදුරන් 8 දෙනකුට පමණ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ද පැවැසූ ලේකම් ඉන්දික මහතා දුම්රිය කාර්ය මණ්ඩලය සඳහා සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුනගේ විවේකාගාර පහසුකම් විධිමත් කිරීම හා ප්‍රමුඛතාව ලබා දී කොරෝනා මර්දන එන්නත ඔවුන්ට ලබාදෙන ලෙසත් ඉල්ලීම් කළ ද ඒ සඳහා දුම්රිය හා ප්‍රවාහන බලධාරින්ගෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව ද පැවැසීය.


විශේෂයෙන් දුම්රිය රියැදුරු කුටී හා විවේකාගාර පහසුකම් සම්බන්ධව කලක සිටම බලධාරින් දැනුවත් කර ඇති බව ද මේ  නිසා කුඩා ඉඩ ප්‍රමාණයක රියැදුරන් දහය පහළොවකට නවාතැන් ගැනීමට සිදුවීම කොරෝනා වයිරසය ව්‍යාප්තියට හේතු වන බව ද බලධාරින් මේ ගැන සොයා නොබැලීම පුදුම සහගත බව ද  ඉන්දික මහතා කීය.

 -මහින්ද නිශ්ශංක-