lanka-priyadarshani-update

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගර්භණී කාන්තාවක වූ ලංකා දිල්රුක්ෂි කරාපිටිය රෝහලේ දී ඊයේ (09) ජීවිතක්ෂයට පත්වූයේ කාටත් කම්පනයක් ඇති කරමිනි. මේ වනවිට ඇය ගැන තවත් විස්තර වාර්තාවී තිබේ.
44 වැනි වියේ පසුවූ  ලංකා දිල්රුක්ෂි අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ පදිංචිකාරියකි. මාතර සුජාතා විදයාලයෙන් හා ශ්‍රීජයවර්ධනපුර සරසවි කළමනාකරණ පීඨයෙන් අධ්‍යාපනය ලබා පසුව ගුරුවරියක ලෙස සේවය කර තිබුණි. අවසන් වරට ඇය 2019 සිට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කළාය.
ඇයගේ විවාහය සිදුවී දරුඵල පමාවීම නිසා අයිවීඑෆ් (නල දරු) සැත්කමකට භාජනය කර තිබූ අතර එයින් ඇයගේ ගැබ්ගැනීම සාර්ථකවූ නිසා ඇය සිටියේ අතිශය සතුටකිනි.
මුලදී ඇයගේ මවට යම් අසනීප තත්වයක් පෙන්නුම් කළෙන් රෝහල් ගතවී පීසීආර් පරීක්ෂණයක් සිදු කර ඇත. එහිදී කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙයි.
ඒ නිසා මෙම ලංකාටද පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඇයටද කොරෝනා ආසාදිත වී ඇති බවටයි.



ගැබිනියකවූ නිසාදෝ කොරෝනාව වැළඳුණ ලංකා ඉක්මනින් අසාධ්‍ය වූවාය.අසාධ්‍යවූ ලංකා පසුව  මුල්ලේරියාව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර සඳහා යොමුවිය. ඇය ප්‍රතිකාර ලබමින් සිටියදී පෙනහළු ආසාදනයට ලක් වී තවත් අසාධ්‍ය තත්ත්වයට පත්වූ අතර ඒ නිසා එක්මෝ ප්‍රතිකාර දීම අවශය බව වෛද්‍යවරුන් දැනුම් දෙන ලදි.
ලංකාවටම එකක් පමණක් ඇති එක්මෝ යන්ත්‍රය තිබුනේ කරාපිටිය රෝහලේය. ඒ නිසා ඇයව  ඉකුත් 29 වන දින කරාපිටිය රෝහලට මාරුකර තිබෙයි.


එහිදී එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කර ප්‍රතිකාර ලබමින් ඇය දිගටම සිටියේ සිහි මුර්ජා තත්වයේය.එසේ සිටියදී මාස 6 ක්වූ දරු කලලය කුස තුලම මියගිය බව දැනගන්නට ලැබී ඇති අතර ඇය සිහි මුර්ජා තත්වයේ සිටියදීම  මළ දරු උපත වෛද්‍යවරුන් ඉවත් කරන ලදි.

අනතුරුව තවදුරටත් අසාධ්‍යව යන්ත්‍රය ආධාරයෙන් සිටි ඇය ඊයේ (09) සවස අවාසනාවන්ත ලෙස මියගියාය. වෛද්‍යවරුන් පවසන්නේ මෙම කාන්තාව දින 11ක් පමණ එක්මෝ යන්ත්‍රයේ උපකාරයෙන් ප්‍රතිකාර ලැබූ බවත් වෛරසයේ බලපෑමෙන් ඇයගේ මොළය ඉදිමීමේ තත්ත්වයක් දක්නට ලැබුණු බවත්ය.මවගේ හෝ දරුවාගේ ජීවිත බේරාගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණක් බවත් වෛද්‍යවරු පවසති.

මියගිය ලංකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නිතීරීති අනුව ඊයේ (09) පස්වරුවේම දඩල්ල ආදාහනාගාරයේදී සිදුකර තිබේ.