රුසියාවේ Sputnik-V එන්නත් මාත්‍රාවන් සදහා ලොව පුරා පවතින ඉල්ලුම ඉහළ යාමත් සමග එහි නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා චීනය එන්නත් නිෂ්පාදන සමාගම් කිහිපයක ද සහාය ලබාගැනීමට තීරණය වී ඇතයි වාර්තා වෙයි. 


රුසියාවේ සෘජු ආයෝජන අරමුදල මගින් මෙම එන්නත නිපදවීම සදහා මුදල් ලබාදීම සිදුවෙයි. ඒ අනුව ඉදිරියේදී චීන සමාගම් කිහිපයක් හා එක්ව එන්නත් මාත්‍රා මිලියන 260ක් නිපදවීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර තිබෙන බව රුසියාව නිවේදනය කර තිබේ.විශේෂයෙන්ම මෙම Sputnik-V එන්නත් ඇණවුම් ලබාදී තිබෙන ලතින් ඇමෙරිකාව, මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපය වෙත සැපයුම් වේගවත් කිරීමට මෙය හේතුවනු ඇතැයි පැවසෙයි. 

 මේ වනවිට ලොව පුරා රටවලින් එන්නතට ලැබෙන ඉල්ලුම දේශීය නිෂ්පාදන ධාරිතාවට වඩා ඉහළ බව ක්‍රෙම්ලීනයේ ප්‍රකාශකවරයාද වරෙක පවසා තිබුණි. රුසියාවේ Sputnik-V එන්නත සම්බන්ධයෙන් දැනට මාස කිහිපයකට පෙරාතුව සිදුකළ අධ්‍යයනයකට අනුව එහි සාර්ථකත්වය 91%ක ප්‍රතිශතයක් ගන්නා බවට සඳහන් විය. 

ඒ අනුව රටවල් රැසකින් මෙම එන්නත සදභා අනවුම් ලැබුණු අතර, එම ඇණවුම් සැපයීමට රුසියාවට හැකි වේවිද යන ගැටලුවද මතුව තිබුණි. කෙසේ වෙතත් චීනයේ සහායද සමග රුසියාව මෙම ඉලක්ක සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.