සයිටම් ආයතනය සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත පවරාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරීපත් කර ඇති බව වාර්තා වේ. එමගින් එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වාර්ෂිකව බඳවාගත හැකි ශිෂ්‍ය ධාරිතාව වැඩි කිරීමට අපේක්ෂිතය. 

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අඛණ්ඩව වාර්ෂිකව අමතර දේශීය සිසුන් 150ක් පමණ ඔවුන්ගේ වත්මන් බඳවා ගැනීමේ ක්‍රමවේදය ඔස්සේ ඉදිරි වසරවලදී බඳවාගත හැකි වන පරීදී සයිටම් ආයතනය සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල එම විශ්වවිද්‍යාලය වෙත පවරාදීමට යෝජිතය. ඒ අනුව 2019 වසරෙහි අ.පො.ස උසස් පෙළ විභාගය මත පදනම්ව ඉහත කී ශිෂ්‍ය සංඛ්‍යාවටද අතිරේක ලෙස. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි ධාරිතාව, පහසුකම් සහ ආශ්‍රිත රෝහල් පහසුකම් පිළිබඳ ඇගයීමක් කර පහත දැක්වෙන නිර්ණායකයන් මත පදනම්ව වඩාත් ප්‍රතිලාභ ලැබිය හැකි ආකාරය අනුව 100කට ආසන්න වූ ශිෂ්‍ය සංඛ්‍යාවක් තෝරාගැනීමට යෝජනා කර ඇත,

2018 අ.පො.ස උසස් පෙළද ඇතුළත්ව පසුගිය වසර 05 තුළ ශිෂ්‍යයන් බඳවා ගැනීමේ ඉහළම අගයට ප්‍රතිශතාත්මක ලෙස සිසුන් තෝරාගැනීමට හෝ පැරණි සහ නව විෂය නිර්දේශයන් දෙකටම අනුව උපරීම පීඩාවට ලක් වූ සිසුන් අයත් දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් සිසුන් තෝරාගැනීමට නියමිතය, එම සිසුන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයට ඇතුළත් කර එහි අභ්‍යන්තර සිසුන් ලෙස සලකා කටයුතු කිරීමට යෝජිතය. උක්ත යෝජනා ක්‍රියාත්මක කීරීම තාක්ෂණික කමිටුවක් මගින් නිර්ණය කිරීම ඇතුළු නිර්දේශ 07ක්ද අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කර තිබේ.එම සිසුන් සඳහා වන පිරිවැය වෙනුවෙන් එක් සිසුවෙකුට වසරකට රුපියල් 525,000ක් වන ලෙස වාර්ෂිකව මහා භාණ්ඩාගාරය මගින් ප්‍රතිපාදන සලසා ගැනීමට නිර්දේශ කර තිබේ.
 (නවෝද්‍යා පවනි)