මෙරට කෝවිඩ්-19 හදිසි අවස්ථා ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකු සමූහයට අයත් මූල්‍ය ආයතන මගින් ඇමරිකානු ඩොලර් මිලියන 80.51ක ණය මුදල් ලබා ගැනීමට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.

දෙවැනි අතිරේක මූල්‍ය පහසුකම්, ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව විසින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් 54,000,000ක් සහ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් ලබාදෙන විශේෂ හැර ගැනුම් ඒකක 18,712,080 (ඇමෙරිකානු ඩොලර් මිලියන 26.51කට සමාන වේ.) සමන්විත වේ.මෙම දෙවැනි අතිරේක මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවේ කෝවිඩ් එන්නත්කරණ වැඩසටහන ආරම්භයේ සිට එම එන්නත් බෙදාහැරීමේ කටයුතු හා සම්බන්ධ වියදම් මෙන්ම එම එන්නත්කරණ ක්‍රියාවලියට අදාළ අනෙකුත් වියදම් ආවරණය කරන අතරම ලෝක බැංකුවේ එන්නත් අනුමත කිරීමේ නිර්ණායකවලට අනුව කෝවිඩ්-19 එන්නත් සම්පාදනය කිරීමටත් උපකාරී වන බව වාර්තා වේ. එම ණය මුදල්වලට අදාළ කොන්දේසි ලෙස ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් ලබාදෙන මූල්‍ය පහසුකම් කල් පිම වසර 30කි. පොලී අනුපාතිකය 1,25%කි. අන්තර්ජාතික බැංකුවේ මූල්‍ය පහසුකමේ කල් පිරීම වසර 18කි. පොලී අනුපාතිකය 0.72%කි. (2021 අප්‍රේල් 07 දිනට විචල්‍ය අනුපාතය) කොන්දේසිවලට අදාළව මෙම ණය මුදල් ලබා ගැනීමට අදාළ ණය හා මූල්‍ය ගිවිසුම්වලට එළඹීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාව යොමු කර තිබේ.

(නවෝද්‍යා පවනි)