samanthi-edirisinghe



සිරස එෆ්එම් ගුවන් විදුලි සේවයේ විධායක නිවේදිකා සමන්ති එදිරිසිංහ සමග කළ සාකච්ඡාවක් පහත පළවේ.


• සුන්දරත්වය කියන දේ කාන්තාවකට වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?

ඔව්, මම හිතනවා මේ ලෝකයේ සිටින සෑම කාන්තාවකටම සුන්දරත්වය කියන දේ වැදගත් කියලා. සුන්දරත්වය කියා මම මෙහිදී අදහස් කරන්නේ ආලේපන ගල්වමින් විශාල මුදලක් වියදම් කරමින් තමන්ගේ ස්වරූපය එහෙම්පිටින්ම වෙනස්කර ගන්න දරන උත්සාහයක් නොවේ.  පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගන්න, එළවළු, පලතුරු කන්න, නිරෝගිකම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සුළු පුංචි මුදලක් අවශ්‍යයි. මේ හැරෙන පිළිවෙල, පිරිසිදුකම කියන දේ ජීවිතයේ පුරුද්දක් කර ගත්තොත්, අපිට උපතින් ලැබුණ සුන්දරත්වය පවත්වා ගැනීම ගැටලුවක් වෙන්නෑ.

• වර්තමානයේ බොහෝ දෙනෙකු සුන්දරත්වය කියා දකින්නේ මොනවාද?
හම සුදු නම්, ඇඟ කෙට්ටුනම් ලස්සනයි කියලා මතයක් තියෙනවා. නමුත් ඇත්තටම මා නම් දකින්නේ සුන්දරත්වය කියන්නේ එය නොවේ. එතරම් සුදු නැති, තලෙලු, කළු හමක් තියෙන අයත් ඕනෑ තරම් ඉක්නවා බොහොම ලස්සන. ශරීරයෙන් මහත් වුණත් ලස්සන හැඩ ඇඟක් තියෙන අය ඉන්නවා. එක එක මමිවලින් සුන්දරත්වය මැනීම සුදුසු නෑ කියලයි මම නම් හිතන්නේ. ලස්සන කියන දේ සාපේක්ෂයි.

• මුහුණෙන් ලස්සන හැමෝම හදවතින් ලස්සනද?
 ගොඩක් ලස්සන අය ළඟින්ම ආශ්‍රය කරද්දී හිත්තෙනවා සමහර අයගේ හදවත් මොනතරම් අවලස්සනද කියලා. ඒ වගේමයි තවත් පිරිසක් ඉන්නවා රූපෙන් ලස්සන නොවුණත් හදවතින් හරිම ලස්සන චරිත.
ඒ නිසා මුහුණේ ලස්සනකින්වත්, හමේ පාටින්වත් මිනිසුන් මැනීම කොහොමත්ම නොකළ යුතුයි.

• ඔබේ රැකියාවත් ඔබට ආශිර්වාදයක් වුණ අවස්ථා තිබෙනවාද?
ඇත්තෙන්ම ඔව්. සෙනසුරාදා උදෑසන විකාශය වෙන සණරාමර සෙවන ධර්ම සාකච්ඡාව නිසා ජීවිතයේ ලොකු වෙනසක් ඇති වුණා. මට ඉස්සර නිතර කේන්ති ගියා. පසුව ධර්ම මාර්ගය සොයා යද්දී මට තේරුණා එය මටම මා කර ගන්න හානියක් කියලා. ඒවගේ ජීවිතයට ලොකු පාඩම් ගොඩක් මම කරන වැඩසටහන් ඔස්සේම මට ලැබුණා.

• කාර්යය බහුල නොවී වැඩකර ගන්න ඔබ මොනවාද කරන්නේ?
කලින් වැඩ සැළසුම් නොකිරීම නිසා බොහෝ විට හින්සේ සංසුවය නැති නිසා, හෙට දවස අද සැළසුම් කිරීම අනිවාරේන්ම මා අතින් වෙනවා. හැමදාම මම වැඩට යන්නේ උදෑසන 5.30ට. දිනපතා සමනල සිරස පොඩ්ඩෝ පොඩියන්ව සැළසුම් කරන්නේ මම. පුරුද්දක් විදිහට හැමදාම කලින් දවසේම හෙට අඳින ඇඳුම, සපත්තු දෙක විතරක් නොවේ. ආභරණත් ඒ වෙනුවෙන් පිළිවෙලට ලෑස්ති කරනවා. මම හරිම ආසයි ආභරණ පළඳින්න. විශේෂයෙන්ම වළලු. හැම ඇඳුමකටම වගේ වළලු දානවා.  ලෝකයේ කොයි රටකට ගියත් වැඩිදුර ගන්නේ වළලු.

• සුන්දරත්වය ආරක්ෂා කර ගන්න ඔබ මොනවාද කරන්නේ?
තියෙන සුන්දරත්වය ආරක්ෂා කරගන්න හිතලාම පුංචි පුංචි දේවල් ටිකක් කරනවා. ඇත්තටම නිරෝගිකම ආරක්ෂා කර ගැනීම තමයි මූලිකම අභිප්‍රාය. ඒ වෙනුවෙන් වතුර ගොඩක් බොනවා. දේශීය පලතුරුවලටත් මම ගොඩක් ආසයි. නෙල්ලි, බෙලි, දිවුල්, ලාවුලු, ආත්තා, අලිගැටපේර වගේ පලතුරු පුළුවන් හැම වෙලාවකම ආහාරයට ගන්නවා. තෙල්, පිටි, සීනි වගේ දේවල්වලින් පුළුවන් තරම් ඈත් වෙන්න උත්සහා කරනවා. මොකද බෝනොවන ලෙඩවලට ගොදුරු වෙනවා
කියන්නේ නොදැනුවත්වම නිරෝගිකම ගිලිහෙන කාරණයන්නේ. ඒ වගේත්මයි පුළුවන් වෙලාවට පැයක් විතර ඇවිදිනවා.



• හම ලස්සනට තියාගන්න ආල්පන වර්ග ගල්වනවාද?
හම පැහැපත් කරන්න කියලා නම් ක්‍රීම් වර්ග භාවිතා කරන්නෑ. ඒත් මාසයකට දවසක් අයික්‍රොස් හදාගන්න, නිතර මේකප් දාන නිසා මුහුණ නිවැරදිව පිරිසිදු කර ගන්න සැලෝන් යන්න නම් පුරුදු වෙලා ඉන්නවා.
හිසකෙස් ලස්සනට තියාගන්න මොනවාද කරන්නේ? මට ලස්සන දිග කැරළි කොණ්ඩයක් තිබුණා දණහිසටත් පහළට. දැන් ඒක උරහිස ළඟට
කොට වෙලා. ඇත්තටම දුකයි. විවිධ කෘතිම දේවල් කරන්න ගිහින් වෙච්ච දේ නිසා දැන් තියෙන කොඩේ ලස්සනට පරිස්සං කර ගන්න සතියකට දිනක් තෙල් සත්කාරයක් කරන්න අමතක කරන්නෑ.

• ලස්සන නිසා ආඩම්බර විය යුතුද?
නැහැ කවදාවත් නෑ. මහ පොලවට පත්වෙන ශරිරයක් තියෙන අපි හැමෝම මොහොතක් පාසා වයසට යනවා. ජරාවට පත්වෙනවා. කළුවට ලස්සනට තිබුණ කොඩේ සුදුවෙනවා. ලසන ඇස් පේන්නේ නැතුව යනවා. හම රැළිවැටෙනවා.
මේ තමයි පොදු ධර්මතාවය. ඒ නිසා රූපයේ සුන්දරත්වය වෙනුවෙන් කෙනෙක් ආඩම්බර වීම
හෝ අනෙකෙකු පෙළීමට යොමුවීම අනුවණ ක්‍රියාවක් විදිහටයි මම දකින්නේ .

• නිවේදිකාවක් විදිහට ඔබ හඬ ප්‍රවේශම් කර ගන්න මොනවද කරන්නෙ?
 මගේ අනන්‍යතාවය හඳුනාගෙන තියෙන්නේ හඩින් නිසා, කටහඬට මම ගොඩක් ආදරෙයි. කොච්චර ආස වුණත් අයිස්ක්‍රීම් එකක්වත් කන්නේ නෑ. අයිතුර ටිකක් බොන්නේ නෑ. ඒවා ආයාසයෙන්ම යටපත් කර ගන්නවා. දිනපතා හඩේ නිරෝගිතාවය වෙනුවෙන් පුංචි අභ්‍යාසයක නිරතවෙනවා. හඬට හානි වෙන නිසා වෘත්තියෙන් පරිබාහිරව කතා කරන්නේ හරිම අඩුවෙන්.

• විලාසිතා කරන්න ඔබ කැමතිද?
ඔව්. මගේ වයසට, මගේ ශරීරයේ හැඩයට, මා නියැලෙන වෘත්තිය අනුව, මම විලාසිතා කරන්න ගොඩක්ම කැමතියි. සරළ බව, පහසුව. පාට විලාසිතා තෝරා ගැනීමේදී සැළකිලිමත් වෙනවා. ගවුම් අඳින්න මම ගොඩක් ආසයි. කහ, සුදු,
කොළ, රතු පාට මට ගොඩක්ම ගැලපෙනවා කියා මම විශ්වාස කරනවා.

• ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?
ලෝකයේ ඕනතරම් ලස්සන කාන්තාවෝ ඉන්නවා. ඒත් මගේ ලෝකය ලස්සන කරපු, මගේ සුන්දරත්වය වෙනුවෙන් ඇගේ සුන්දරත්වය දන්දුන්න මේ ලෝකේ කෙනෙක් ඉන්නවා නම් ඒ මගේ අම්මා. අම්මා තමයි මට මේ ලෝකේ ලස්සනම කෙනා.

සටහන - අසුන්තා එදිරිසූරිය