ranga-ashoka-makuluwa-galle

ගාල්ල මකුළුව ප්‍රදේශයේ තෙමහල් නිවසක වහලය කඩා වැටීමෙන් පියකු පුතකු හා අසල්වැසියෙකු මියයාමේ කණගාටුදායි පුවතක් ඊයේ වාර්තා විය.
මෙසේ මියගිය රංග අශෝක (46) දෙදරු පියෙකි. ඔහුගේ සය හැවිරිදි පුතුත් අසල්වාසී මිතුරෙකුත් (44) මෙම අනතුරින් මරණයට පත්වූහ. රංග ඉදිකිරීම් ක්ෂෙත්‍රයට සම්බන්ධ අයෙකු වන අතර සේවය කරමින් සිටියේ  ෂැංග්‍රිලා  ඉදිකිරීම් ව්‍යාපෘතියකය. ඔහුගේ වැඩිමල් සොයුරෙකුට අයත් තෙමහල් නිවසක් මකුළුව ප්‍රදේශයේ ඉදිකරමින් පැවති අතර එහි තවම වැඩ අවසන් කර නොතිබිණි.


සොයුරාට අයත් එම නිවසේ ඉදිකිරීම් වැඩ භාරව කටයුතු කර ඇත්තේද මියගිය රංග අශෝකයි.
තෙමහල් නිවසේ ඉහළ මාලයට හොඳට හුළං සැර එන නිසා රංගට නිවාඩු තිබෙන අවස්ථාවල දරුවන්ද කැටුව සරුංගල් යැවීම කාලයක් තිස්සේ සිදු කරමින් පැවති බව වාර්තා විය.
බොහෝ මිතුරන් ඇසුරු කළ අයෙකුවූ රංග ඇතැම්විට මෙම අවස්ථාවන්ට මිතුරන්ද කැටුව ගිය බව කියැවේ.
සිද්ධිය වූ ඊයේ ඔහුගේ සය හැවිරිදි පුතුත් තුන් හැවිරිදි දියණියත් අසල්වාසී මිතුරෙකුත් කැටුව රංග සරුංගල් යවන්නට වෙනදා මෙන් ඉදිකරමින් පැවති නිවසේ ඉහළ මාලය වෙත ගොස් තිබේ.


ගොඩනැගිල්ලෙහි පහළ මහලේ මැද මිදුලක් ඇති බවත් එම මැද මිදුල ඉහළ මහළ දක්වාම නිරාවරණය වී ඇති බවත් පොලීසිය සදහන් කරයි.

තවමත් ගොඩනැගිල්ලෙහි වැඩ අවසන්ව නැති බැවින් වැසි ජලය ඒ නිරාවරණය කර ඇති කොටසින් ගොඩනැගිල්ල තුළට වැටෙන බැවින් ඇස්බැස්ටොස් දමා තාවකාලිිකව වසා දමා තිබී ඇත. සරුංගල් අරිමින් සිටින විට ඔවුන් තිදෙනා එම ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු මත වාඩිවී හෝ සිටගෙන සිටින්නට ඇති බවත් එහි තිදෙනාගේම බර දරාගන්නට බැරිව යාමෙන් සෙවිලි තහඩුව කඩාගෙන  මහ හඩක් නංවාගෙන බිමට ඇද වැටී තිබෙන බවත් පොලීසිය කියයි.

ඔවුන් පතිත වී ඇත්තේ බිම් මහළේ කොන්ක්‍රීට් පොළොව මතටය.
අසල්වාසී නිවසක කාන්තාවකට මෙම ශබ්දය ඇසී අනතුර සිදුවූ නිවස වෙත ගොස් තිබෙන අතර ඇය පැවසුවේ තමා එහි යන විට ඇස්බැස්ටස් කැබලි සමග තිදෙනාගේ සිරුරු දැක භීතියට පත්වූ බවයි. ශරීර කොටස් කැබලිවී ලේ විසිරී ඔවුන් එතැනම මියගොස් සිටි හැටි දුටු බවයි.
තුන්වන මහළෙන් වැටුණ රංග ඔහුගේ පුතු හා අසල්වාසී මිතුරා මියගිය නමුත් අනතුර සිදුවූ අවස්ථාවේ සරංගල් යැවීමට සහභාගිවූ සිඟිති දියණියගේ දිවි බේරිණි.
සිද්ධිය සියැසින් දුටු ඇය තවමත් කම්පනයෙන් පසුවේ.