
පවතින අවදානම් වාතාවරණය හමුවේ පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිනි මවුවරුන් ද සේවයට කැඳවීම නවත්වන්නැයි හාම්පුතුන්ට උපදෙස් දෙන ලෙස වෙළෙඳ කලාප ආශ්‍රිතව වැඩ කරන ස්වේච්ඡා සංවිධාන කිහිපයක් කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
සති විසි අටට වැඩි ගැබිනි මව්වරුන්ට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් එය ඉතා අහිතකර තත්වයකට යන බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී ඇති අතර රාජ්‍ය අංශයේ සේවය කරන ගැබිනි මව්වරුන් සේයට නොකැඳවීමට රජය ගත් තීරණය ඉතා වැදගත් බවද එම සංවිධාන පෙන්වා දී ඇත.
පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිනි මවුවරුන්ද සේවයට කැඳවීම නැවැත්විය හැකි නම් එය ඉතා අගනා තීරණයක් වනු ඇති බවද එම සංවිධාන කම්කරු අමාත්‍යවරයාට යවා ඇති ලිපියේ සඳහන් වෙි. පෞද්ගලික අංශයේ සේවය කරන ගැබිනි කාන්තාවන් ගැන කිසිදු අංශයක අවධානය මේ වනතුරුත් යොමුවී නැතැයි ද එම සංවිධාන පවසයි. ඇතැම් ආයතන ගැබිනි කාන්තාවන්ගේ වැටුප් හා දීමනා කපා හැර ඔවුන්ගේ සේවය නැවැත්වීමට පවා මේ අවස්ථාවේ පියවර ගෙන ඇතැයි පෙන්වා දෙන එම සංවිධාන නේවාසිකාගාරවල දී සමාජ දුරස්ථභාවය තබා ගැනීමට කිසිසේත්ම ඉඩකඩක් නොමැතිවීම සමහර ගැබිනි මව්වරුන් මුහුණ දී ඇති ප්‍රශ්නයක් බවත් පෙන්වා දෙයි.
බොහෝ ආයතන සිදුකරන්නේ ආසාදිතයා පමණක් සේවයෙන් බැහැර කිරීම පමණක් වන බැවින් කම්හල් තුළ සේවය කරන ගැබිනි මව්වරුන් අවදානම් තත්වයේ පසුවන බවද ඔවුහු පෙන්වා දෙති. ඩාබිඳු සාමූහිකය, ශ්‍රමාභිමානී කේන්ද්‍රය, ජනකලන සමාජ අසපුව, සවිළේ ජාතික කාන්තා ව්‍යාපාරය, සමාජ සාධාරණත්වය උදෙසා කාන්තා ක්‍රියාකාරිත්වය යන සංවිධාන මෙම ලිපියට අස්සන් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval