kandy-hospital-covid19--issues

මහනුවර මහ රෝහලේදී සිදුකෙරෙන ඉතාමත් අකාර්යක්ෂම කෝවිඩ් ප්‍රතිකාර ක්‍රමවේදය නිසා එම රෝහල කෝවිඩ් ව්‍යාප්ත කරන තවානක් බවට පත්වී ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඊයේ (17)දා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියි.



සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාරක සභික වෛද්‍ය වංසක විජයමුණි මහතා පවසා සිටියේ, මහනුවර රෝහලේ කෝවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා ඇඳන් 30කින් සමන්විත එක් වාට්ටුවක් වෙන්කර තිබෙන බවත්,මේ වනවිට එම වාට්ටුවේ 70දෙනෙකු පමණ ඇදන් උඩ සහ යට ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය.එම වාට්ටුවල ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් නොමැතිවීම නිසා අනෙකුත් රෝග සඳහා ප්‍රතිකාර කරන වාට්ටුවලටද කෝවිඩ් ආසාදිතයන් මාරු කර යැවීමට බලධාරීන් කියා කිරීම හේතුවෙන් එහි ආසාදිතයන් කාර්යමණ්ඩල ඇතුළු සියලු දෙනා ඉතාමත් අවදානමකට ලක්වී ඇති බවත්, ජාතික හා ජාත්‍යන්තර නිර්ණායක සියලු දේ උල්ලංඝනය කරමින් සිදු කරන මෙම අපරාධය ජීවිත අනතුරේ හෙලීමක් බවද හෙතෙම පෙත්වා දුන්නේය.



 මහනුවර මහ රෝහල තුළ ක්‍රියාත්මක වන කඹ ඇදිල්ලක් හේතුවෙන් කෝවිඩ් ආසාදිතයන් සදහා තවමත් වාට්ටුවක් වෙන් කරවා ගැනීමට නොහැකිවී තිබෙන බවත්, රෝහල් පාලන අධිකාරිය විසින් වාට්ටුවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් එම වාට්ටු භාර ඇතැම් වෛද්‍යවරුන් ඊට විරෝධය දක්වා වාට්ටු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ ආකාරයට කෝවිඩ් ආසාදිතයන් හා සාමාන්‍ය රෝගීන් එකට දමා ප්‍රතිකාර කිරීමට සිදුවී තිබෙන බවද එම වෛද්‍යවරු පෙන්වා දෙති. එම ප්‍රවෘත්ති සාකචිඡාවේදී අදහස් දක්වා සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ප්‍රභාත් ලියනගේ මහතා පවසා සිටියේ,
මහනුවර මහ රෝහල තුළ පවතින මෙම අවදානම්කාරී වාතාවරණයට නිසි පිළියම් නොලැබුණහොත් එළඹෙන 20 වැනිදා වනවිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි. මීට පෙර රෝහල තුළ ක්‍රියාත්මක වූ ආසාදිතයන් වැඩි වනවිට ක්‍රමානුකූලව වාට්ටු වැඩි කිරීමේ ක්‍රමවේදය පසෙකලා කෝවිඩ් ආසාදිතයන් සාමාන්‍ය වාට්ටුවට ඇතුළත් කිරීම තුළින්සාමාන්‍ය රෝගීන්, කාර්යමණ්ඩල හා රෝගීන් බැලීමට පැමිණෙන ඥාතීන් දැඩි අවදානමකට ලක්වී තිබෙන බවත්, මේ වනවිටත් කෝවිඩ් ආසාදිතයන් 74දෙනෙකු සාමාන්‍ය වාටිටුවල ප්‍රතිකාර ලබන බවද පැවසීය.මේ හේතුවෙන් මහනුවර රෝහල දැඩි අනාරක්ෂිත තත්වයට පත්වී තිබෙන බවත්, ඉදිරියේදී මහනුවර කෝවිඩ් රැලි පිට රැලි ඇතිවීම වැළැක්විය නොහැකි බවද පැවසීය.

 (ෂේන් සෙනෙවිරත්න)