mount-lavinia-ip

සංචරණ සීමා පනවා තිබූ නිසා රෝහලකට යාමට වාහනයක් සොයා ගැනීමට නොහැකිව ප්‍රසූත වේදනාවෙන් පෙලෙමින් වත්තල මහබාගේ හන්දියේ අසරණව සිටි ගැබිනි කාන්තාවක දුටු ඒ අසලින් ගමන් ගත් පොලිස් පරීක්ෂකවරයකු ඇය සිය යතුරුපැදියේ නංවාගෙන කඩිනමින් රෝහලක් කරා ගොස් බාරදීම නිසා මවගේ හා දරුවාගේ ජීවිත බේරීමේ සිද්ධියක් රාගමින් වාර්තා වේ.  

මෙම උතුම් සත් ක්‍රියාව කරනු ලැබුවේ පොලිස් විශේෂ කාර්යාංශයේ ගල්කිස්ස ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයන්ත අධිකාරම් මහතා විසිනි.සංචරණ සීමා පනවා තිබූ පසුගිය සෙනසුරාදා (15) සවස පොලිස් පරික්ෂක අධිකාරම් මහතා සිය යතුරුපැදියේ ගමන් කරමින් සිටියදී වත්තල මහබාගේ හන්දියේ තරුණ යුවලක් සිටිනු දැක ඒ ගැන විපරම් කර බලා ඇත.

සිය බිරිඳ ප්‍රසූත වේදනාවෙන් පසුවන බවත් රෝහලකට යාමට මහබාගේ හංදියට පැමිණ පාරේ ගමන් ගත් වාහන කිහිපයක්ම නවත්වා ගැනීමට උත්සාහ කළත් ඔවුන් නොබලාම ගිය බවත් සැමියා පොලිස් පරික්ෂකවරයා සමග පවසා ඇත.  පොලිස් පරීක්ෂක අධිකාරි මහතා ගැබිනි කාන්තාව පත්ව සිටින අසීරුතාව දැක දෙදෙනාම සිය යතුරුපැදියේ නංවාගෙන රාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ගෙන ගොස් බාරදී ඇත.  පොලිස් පරීක්ෂකවරයාගේ එම උතුම් ක්‍රියාව අගය කරමින් ගැබිනි කාන්තාවගේ සැමියා ඔහුට සිය කෘතවේදීත්වය පළකර ඇත.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-