oxygen-pump

කොවිඩ් ​ වයිරසය ශරීරගත වූවන්ට ප්‍රතිකාර ලබන රෝහල්වල වාට්ටු සඳහා ඔක්සිජන් සැපයීමට නළ එළීමේදී රෝහල් බලධාරීන්ට තඹ බට (කොපර්) ආදිය සඳහා විශාල වියදමක් දැරීමට සිදුවී තිබේ. මෙම වියදම අවම කර ගනිමින්, කොපර් බට (තඹ බට) වෙනුවට වෙනත් විකල්ප ක්‍රමවේදයක් මෙරට ඉංජිනේරුවකු විසින් හඳුන්වා දී ඇත.



ඔහු නමින් නලීන් බොල්ලෑගලය. ඔහු මැට්‍රික්ස් පෞද්ගලික සමාගමේ ඉංජිනේරුවකු ලෙස කටයුතු කරන්නේය. ඔහු සිය ඉංජිනේරු හා තාක්ෂණ ශිල්පීන් සමග කොපර් බට වෙනුවට යොදාගත හැකි විකල්පයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළේය.

‘අපි මේ අත්හදා බැලීම සිදු කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ, දොම්පේ රෝහල ආශ්‍රිතවයි. රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබන අයට ඔක්සිජන් දෙන්න තිබුණේ කුඩා ඔක්සිජන් ටැංකි (මිනී සිලින්ඩර්) විතරයි. ඒවා යොදාගෙන එක් රෝගියෙකුට ඔක්සිජන් දෙන්න පුළුවන් වුණේ පැය තුන හමාරක් විතරයි. හැම වෙලාවෙම ඔක්සිජන් සිලින්ඩරය මාරු කරන්න කාර්ය මණ්ඩලයට එම වාට්ටුව ඇතුළට යාමට සිදුවී තිබුණා. වරින් වර ඔක්සිජන් සිලින්ඩර් මාරු කිරීමද රෝගියාටද බාධාවක්. මේ නිසා අපි අලුත් ක්‍රමයක් ගැන හිතුවා.’’ යැයි ඉංජිනේරු නලීන් බොල්ලෑගල පවසන්නේය. ඔක්සිජන් සිලින්ඩර් වාට්ටුවෙන් පිටත ගබඩා කර එම ස්ථානයේ සිට රෝගියාගේ ඇඳ දක්වා ඔක්සිජන් සැපයීම සිදු කරන ආකාරය පිළිබඳව ඔවුන් සැලසුම් කරන ලදී. තමබට යොදාගෙන සිදු කරන මෙම ක්‍රියාවලිය සඳහා රුපියල් ලක්ෂ 15ත් 20ත් අතර වියදමක් වැයවන බැවින් ඒ සඳහා වෙනත් විකල්ප බට යොදා ගැනීමට සැලසුම් සකස් කරන ලදී.

‘‘සිලින්ඩර් එළියේ තියලා රෝගියාගේ ඇඳ ළඟට ඔක්සිජන් සැපයීම කරන්න (Wall Oxygen System)



සඳහා විශාල මුදලක් වැය වෙනවා. මේ නිසා අපි හිතුවා ‘‘පොලි ප්‍රොපිලින් රැන්ඩම්’’ (PPR) නමැති පයිප්ප යොදාගෙන රෝගියාගේ ඇඳ දක්වා ඔක්සිජන් සැපයුම සිදුකරන්න. මෙහිදී අපි තඹබට යොදා ගන්නේ නළ එකිනෙක සම්බන්ධ වන ස්ථානවලට පමණයි. මේ නිසා තඹ බට සඳහා වැයවන විශාල මුදලක් ඉතිරි වෙනවා.’’ යැයි ඉංජිනේරු නලීන් බොල්ලෑගල කියන්නේය.

මෙම නව ක්‍රමවේදය යොදා ගනිමින් කොවිඩ් රෝගීන්ට පැය 72ක කාලයක් ඔක්සිජන් සපයා කරන ලද අත්හදා බැලීම් සාර්ථක වී ඇත. මෙම කටයුත්ත සඳහා දොම්පේ රෝහලේ වෛද්‍ය උදයංග නවීන් රණසිංහ විශාල සහ​යෝගයක් දක්වා ඇත.

‘‘මේ නළය පී.වී.සී. නළයට වඩා වෙනස්. තඹ බට සහ මෙම නළ අතර මිලේ පරතරය අටෙන් එකක්. මේ නව ක්‍රමය මගින් දොම්පේ රෝහලේ ඇඳන් හතරකට ඔක්සිජන් සැපයීම සිදු කරනවා’’ යැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ පවසයි.

සාලිය කුමාර ගුණසේකර