kuruvita-political-influence

දින නියමයක් නොමැතිව හුදෙකලා කර ඇති කුරුවිට ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ කුරුවිට නගරයේ ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර වෙළෙඳ සල් මෙන්ම එළවළු වෙළඳ සැල් ඊයේ (17) පැය හතරක කාලයක් විවෘත කිරීමට අවසර දී තිබුණි. පසුගිය 13 වැනිදා සිට කුරුවිට පොලිස් වසමට අයත් කුරුවිට ග්‍රාම නිලධාරි වසම සහ දෙල්ගමුව ග්‍රාම නිලධාරී වසම් කොටසක් දින නියමයක් නොමැතිව හුදකලා කළ අතර, ඊට කුරුවිට නගරයද ඇතුළත් විය. 

නගරයේ ආහාර ද්‍රව්‍ය වෙළඳ සැල් විවෘත කෙරුණද මහජනයාගේ පැමිණීමේ විශාල අඩුවක් දක්නට ලැබුණි. හුදකලා කිරීමට පෙර කුරුවිට ග්‍රාම නිලධාරී වසමෙන් මරණ තුනක් සහ ආසාදිතයන් වැඩි ගණනක් වාර්තා වී තිබුණි.මේ අතර ප්‍රාදේශීය සභා සභිකයෙක්.වෙළදසැල් විවෘත කරන ලෙස රජයේ නිලධාරින්ට බලපෑමක් කළ බවත් විවෘත නොකළොත් ඒවා කඩා හෝ මහජනයාට බඩු ගැනීමට අවස්ථාව ලබාදෙන බවට ප්‍රාදේශීය සභා සභිකයා රජයේ නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් මෙම වෙළඳ සැල් විවෘත කිරීමට බලපා ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.

කෝවිඩ් වසංගත තත්වයන් මර්දනය කිරීමේ නියළි බිම් මට්ටම් රාජ්‍ය නිලධාරින් පැවසුවේ, හුදකලා බව ඉවත් කිරීමට පෙර පැය හතරක කාලයකට හෝ කුරුවිට නගරයේ වෙළදසැල් කිහිපයක් හෝ විවෘත කිරීම නොකළ යුතුව තිබූ බවයි.මේ තත්වය නිසා නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත්, සංචරණ සීමා පැනවීමේදීත් තමන් දැඩි අසීරුවකට පත්වූ බවද බිම් මට්ටමේ නිලධාරිහූ කියා සිටියහ.

පසුගිය 07දා සිට 16දා තෙක් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කෝවිඩ් ආසාදිතයන් 122ක් හමුවී ඇති බවද එම නිලධාරිපවසා සිටියහ.මේ සම්බන්ධයෙන් රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩී.පී.එල්. උදයකුමාරි මෙනවියගෙන් විමසීමේදී පැවසුවේ, කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ කුරුවිට පොලීසියේ උපදෙස් මත නගරය ආසන්නයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට වෙළෙඳ සැල් කිහිපයක් විවෘත කර ඇති බව කුරුවිට වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරයා තමන්ට දැනුම් දුන් බවයි.

එහෙත් ජාතික මට්ටමේ තීරණයක් මත කළ හුදකලා කිරීමකදී එකි තීරය අභියෝගයකට ලක්කිරීමට ප්‍රාදේශීය මට්ටමේ නිලධාරින්ට නොහැකි බවද ඇය පැවසුවාය.එල්ලවෙන චෝදනා සම්බන්ධයෙන් කුරුවිට ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික ආර්. සෝමරත්න මහතාගෙන් විමසීමේදී පැවසුවේ, වෙළඳ සැල් විවෘත නොකළොත් බලෙන් විවෘත කරනවා යැයි තමන් කිසිම නිලධාරියෙකුට බලපෑමක් නොකළ බවය.

එහෙත් තමත් කුරුවිට වැඩබලන  ප්‍රාදේශීය ලේකම්වරයාට කතා කර  පසුගිය බ්‍රහස්පතින්දා එළිවෙන විට කුරුවිට නගරය ඇතුළු ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කිරීමත් ඊට පසු දින තුනක්රටම හුදෙකලා කිරීමත් තුළ නගරය අවට සාමාන්‍ය පන්තියේ ජනතාව විශාල ආහාර ගැටලුවකට මුහුණ දී ඇති බැවින් ඊයේ (17දා) පැය  දෙකක්වත් නගරයේ ආහාර සහ එළවළු වෙළද සැල් විවෘත කළ හැකි නම් එය විශාල පහසුවක් වන බවට යෝජනා කළ බවද සඳහන් කළේය. එවිට ඔහු පොලිස් ස්ථානාධිපතිතුමාගත් සහ සෞඛ්‍යවෛද්‍ය නිලධාරිතුමාගෙන් විමසා තීරණයක් ගන්නා බවත් හොදි යෝජනාවක් බවත් සදහන් කර පෙරේදා(16දා) රාත්‍රී 07.30ට පමණ කතා කර ඊයේ (17දා) පැය කිහිපයක් නගරයේ ආහාර වෙළදසැල් සහ එළවළු වෙළද සැල් විවෘත කරන බව දැනුම් දුන් යැයිද කීව්වේය.
(අජිත්ලාල් ශාන්තඋදය )