navinna-ayurweda

මෙරට වගා කරනු ලබන ඖෂධ වර්ග මිලදී ගැනීම සහ අලෙවි කිරීම පිණිස නාවින්න ආයුර්වේද සංකීර්ණය, නොනිදන දේශීය ඖෂධ අලවිකරණ මධ්‍යස්ථානයක් බවට පත් කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සදහන් කළේය.ගම්පහ පැවැති වැඩසටහනකදී මේ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය. 


"මේ රටේ ඇතැම් අය කතා කරනනේ කුඩා කාලයේදීවත් වෙනිවැල් ගැට ටිකක්, කොත්තමල්ලි ටිකක් නොබිව්වා වගෙයි. මේ පසුගිය දිනක බටහිර වෛද්‍යවරියක් කියනව තෙල් ගාන අයට ඒඅය කැමති නැතිලු. අපේ දේශීය වෙදකම කියන මහා විශාල දැනුම් පද්ධතියක්. අපි උපන්දා සිට නිර්වාණය අරමුණු කරගත් ජීවන ප්‍රතිපත්තියක් සමගයි අපේ හෙළ වෙදකම. දේශීය වෙදකම පවත්වාගෙන යනු ලබන්නේ.මෙම වෙදකමට ලොකු ඉතිහාසයක් තිබෙනවා. මෙය නැවත ගොඩනැගිය හැකි වන්නේ පන්සල, පිරිවෙන කේන්ද්‍ර කරගත් දැනුම් පද්ධතිය ඉදිරියට ගෙනයාම තුළින් කියල අපි විශ්වාස කරනවා.

 විශේෂයෙන්ම මේ සදහා ඖෂධ උයන් වැඩි වැඩියෙන් ඇතිවිය යුතුයි. අද වනවිට සාරණ මුල් ටික පවා මිලියන ගණන් වැය කරමින් පිටරටින් ගෙන්වෙනවා. මෙය 50%කින් පමණ කපා හැරීම පිණිස දේශීය වශයෙන් වගා කිරීමට අපි කටයුතු ආරම්භ කොට තිබෙනවා. දේශීය ඔසු උයන්, ඒ වගේම නාගරීක ඔසු උයන් සහ ඔසු පැළ, සුව ධරනී වැඩසටහන මේ වනවිට ආරම්භ කොට තිබෙනවා. රට පුරාම ගුණාත්මකභාවයෙන් යුත් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. අපි තේරුම් ගෙන ඇති දෙයක් තමයි වගා කරන්නෝ අපේ රටේ අනාථයෝ වෙන්නෙ කියන පදය.මේක මහා භයානක ඛේදවාචකයක්. වගා කරන පලය විකුණාගන්න බැහැ.මේ නිසා ජනතාව කියනව වගා කරල වැඩක් නැහැයි කියල.


මේ නිසා මිලදී  ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. මිලදී ගැනීමට, අලෙවි කිරීමට ස්ථාන අවශ්‍යයි. බෙදාහැරීමේ ස්ථාන අවශ්‍යයි. මේ නිසා නාවින්න. ආයුර්වේද සංකීර්ණය, නොනිදන දේශීය ඖෂධ අලවිකරන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට අපි කටයුතු කරමින් යනවා.මෙමගින් අප රටේ දේශීය වෛද්‍යවරුන්ට සහ සංචාරකයන්ට ගුණාත්මකව ඖෂධ මිලදී ගැනීමට වගේම වගා කරනු ලබන ඖෂධ වර්ග අලෙවී කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. අද බිං කොහොඹ කිලෝවක් රුපියල් විසි තුන් දාහයි. මේවා ඉතාම ආර්ථික වශයෙන් ඵලදායී විය යුතුයි.මේ නිසා ඖෂධ වගා කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා අපගේ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධනය හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරනවා.”

 (ගම්පහ - නිලකරත්න දිසානායක)