milka-gehani-sri-lanka

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා මිල්කා ගෙහානි සුදුසුකම් ලබා සිටින බව ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා පැවසීය.  පරිසාධන මට්ටමට නොපැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාමලේඛනය (වයිල්ඩ් කාඩ්) යටත් ඇය ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබේ. ක්‍රීඩා ඉසව් සඳහා අනුමත සුදුසුකම් සපුරාලීමට ආපොහොසත් වන රටවලට හඳුන්වාදුන් ප්‍රසාද ලකුණු ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකාව ඒ ආසන්නයටම පැමිණ සිටියාය.

මේ වනවිට ඇගේ අවසර පතට ටෝකියෝ ඔලිම්පික් තරග කමිටුව අනුමැතිය ලබාදී තිබෙන බවද මැක්ස්වල් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය. මෙහි විශේෂත්වය වන්නේ ඔලිම්පික් උළෙලක් සඳහා ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් අනුමැති ලබාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට ඇය පත්වීමයි. මිල්කා 2019 ජපානයේ දී පැවැති ලෝක ජිම්නාස්ටික් ශූරතාවලියට සහභාගි වූ ක්‍රීඩිකාවකි. ඇය ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ඉසව් හතකදීම දක්ෂතා දක්වනියකි.

හිටපු ජාතික ශූර පුහුණුකරු රංජන තරංග යටතේ පුහුණුව ලැබූ පිලියන්දල සිට පැමිණි 18 හැවිරිදි මිල්කා මුලින්ම පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලයටත් පසුව කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයටත් ඇතුළත්ව සිටින්නියකි.
ඇය 2019 දී අයිඕසී අරමුදල් සහිත ශිෂ්‍යත්වයක් ලබාගෙන ජපානයේ පුහුණුව ලබා ඇගේ සිහිනය සැබෑ කර ගැනීමට පුහුණු වූවාය.
ඇය ජාත්‍යන්තර තරඟ කිහිපයකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර, 2011 (වයස අවුරුදු 8 )සිට 2014 දක්වා කනිෂ්ඨ ජාතික ශූරියද වූවාය , පසුව 2016 දී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 6 වන ස්ථානයට පත්විය. ඇය 2017 සහ 2018 දී ජාතික ශූරතාව දිනා ගත්තාය. 2018 දී ඉන්දුනීසියාවේ පැවති ආසියානු ශූරතාවය ලබමින් මෙම ජයග්‍රහණය ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විය. ඇය 2018 යෞවන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රාදේශීය වාර්තාවක් තැබුවාය.