milka-gehani-de-silva

ජපානයේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලට ජිම්න්නාස්ටික් (Artistic gymnast) ක්‍රීඩිකා මිල්කා ගෙහානි ද සිල්වා සුදුසුකම් ලබාගැනීමට වැඩි අවස්තාවක් ඇති බවට තොරතුරු වාර්තා වේ.  කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් සංගමය හෝ ජාතික ඔලිම්පික් සංගමය මේ දක්වා නිල දැනුම් දීමක් සිදුකර නොමැත.  යම් හෙයකින් මිල්කාට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙල  නියෝජනය කිරීමට වරම් හිමිවුවහොත්, ශ්‍රී ලංකා ධජය යටතේ ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ දෙවැනි ක්‍රීඩිකාව බවට ඇය පන්වනු ඇත. එමෙන්ම ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් ඔලිම්පික් උළෙලකට සහභාගි වී නොමැති හෙයින්, එම අවස්ථාව හිමිකර ගන්නා  පළමු ක්‍රීඩිකාව බවට පත්වීමටද  තවමත් 18වැනි වියේ පසුවන මිල්කාට අවස්ථාව උදාවනු ඇත.


ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි රැසකට සහභාගි වී ඇති මිල්කා, 2019 වසරේ ජර්මනියේ පැවැති ජිම්නාස්ටික් ලෝක ශුරතාවලියේ දක්‍ෂතා දැක්වීය.

එය ඇයට ඔලිම්පික් සුදුසුකම් ලැබීමට අවශ්‍ය පරිසාදන ලකුණු රැස් කිරීමට ප්‍රධාන හේතුවක් විය. කෙසේ නමුත් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙස මෙම මාසයේදී චීනයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය අවලංගු කිරීමට එහි සංවිධායකයන් තීරණය කළේය. ඒ වන විට මිල්කා ලබාගෙන සිටි පරිසාදන ලකුණු අනුව ඇයට පහසුවෙන්ම සිය ඉලක්කයට ළඟා වීමට පසුවෙන්ම අවස්ථාව උදා වූවාය.


මෙවර ඔලිම්පික් උළෙල සඳහා දකුණු හා මධ්‍ය ආසියානු කලාපයේ රටවල්හි ක්‍රීඩිකාවන් දැක්වූ දක්‍ෂතා අනුව ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට පමණක් අවස්ථාව උදා වූ අතර, ඒ අනුව ඉන්දියාව, පාකිස්තානය, ඉරානය, උස්බෙකිස්තානය යනාදී රටවල් රැසක් ඇති දකුණු හා මධ්‍ය ආසියානු කලාපයෙන් ටෝකියෝ ඔලිම්පික් නියෝජනය කිරීමට අවස්ථාව උදා වූයේ මිල්කාට අමතරව ඉන්දියාවේ ප්‍රනාටි නායක්ට පමණි. කෙසේ නමුත් මහද්වීපික කෝටාවට අනුව ප්‍රනාටිට වඩා මිල්කා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ඉදිරියෙන් සිටීම සුවිශේෂී වෙයි. දේශීය තරගවලද කැපී පෙනෙන දක්‍ෂතා දක්වා ඇති මිල්කා, 2011 සිට 2014 දක්වා ජාතික කනිෂ්ඨ ශූරිය ලෙසත්, 2017 සහ 2018 වර්ෂයන්හි ජාතික ශුරි ලෙස කිරුළු පැලඳ ඇත.


ඇය 2016 වසරේ කනිෂ්ඨ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට හා 2018 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලටද ශ්‍රී ලංකාව  නියෝජනය කරමින් සහභාගි වූවාය. එමෙන්ම 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවැති ආසියානු ශුරතාවලියේ පළමු 08දෙනා අතරට පැමිණීමට තරම් ඇගේ දක්‍ෂතා මුවහත් වී තිබූ අතර,  එය ආසියානු ශූරතාවලියක ශ්‍රී ලංකා  ක්‍රීඩිකාවක දක්වා තිබෙන ඉහළම දක්‍ෂතාවද වෙයි.  පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලය හා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මිල්කා, පසුව කොළඹ 03 මෙතෝදිස්ත විද්‍යාලයට ඇතුළත් වූවාය.

ඇයගේ  මෙරට පුහුණුකරු ලෙස හිටපු ජාතික ශුරයෙකු වන රංජන තරංග මහතා කටයුතු කළේය.  කෙසේ නමුත් 2019 වසරේදී මිකාට ජාත්‍යන්තර ඔලීම්පික්  කමිටුවේ හා ජාතික ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහය මත ජපානයට ශිෂ්‍යත්වයක් හිමිවූ  අතර, මේ වනවිට ඇය ජපානයේ සිට පුහුණුවීම් කටයුතු සිදුකරමින් සිටියි.


මෙවර ටෝකියෝ  ඔලීම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩිකාව වන්නේ කාන්තා අශ්වාරෝහක (Showjumping rider) ඉසව්ව නියෝජනය කරන මැටිල්ලා ක්ලාසන්ය. ශ්‍රී ලංකාවේ ඉපිද කුඩා කලදීම ස්වීඩන දෙමාපිය යුවළක් යටතේ හැදී වැඩුණු මැටිල්වා, ඔලීම්පික් උළෙලට  අශ්වාරෝහක පැනීම් ඉසව්වක් නියෝජනය කරන පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වෙයි.  ටෝකියෝ ඔලිම්පික් උළෙල ජූලි මස 23  වැනිදා සිට අගෝස්තු මස 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.



 

milka-gehani-de-silva

milka-gehani-de-silva