colombo-national-hospital-covid

 ඇන්ටිජන් පරික්ෂණ ඇනහිටීමත්, ශල්‍ය මුව වැසුම්වල දැඩි හිගයක් හේතුවෙන් කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල හා රෝගී බරපතළ අනතුරකට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත මහතා පැවසීය. 

පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල නොමැති බව පවසමින් ඉකුත් 07 වැනිදා දහවල් සිට කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරන රෝගීන්ට කරමින් තිබූ ඇන්ටිජන් පරික්ෂාව නවතා දමා ඇති බවද ඔහු සඳහන් කළේය. විවිධ අනතුරුවලට ලක්වූ ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් මෙන්ම විවිධ රෝග තත්ත්වවලට ප්‍රතිකාර ලැබීමට රෝහල් ගතවන රෝගීන්ගෙන් කොරෝනා රෝගීන් වෙන්කර හඳුනා ගැනීමට මෙම පරීක්ෂණයෙන් හැකි වූ  බවත් එමගින් සෞඛ්‍ය කාර්ය  මණ්ඩලයත් අනෙකුත් මන්නාසික  රෝගීන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා වූ බව ද මැදිවත්ත මහතා සඳහන් කළේය.



ජාතික රෝහලේ සෑම වාට්ටුවකටම දී ඇත්තේ දිනකට මුව වැසුම් 50ක පමණ  ප්‍රමාණයක් බැවින් මේ වනවිට ශ්‍රී ලංකා  ජාතික රෝහල තුළ සියලු කාර්ය මණ්ඩල මෙන්ම රෝගීන්ගේ පාවිච්චිය සඳහා ලබාදුන් ශල්‍ය මුව වැසුම්වල බරපතළ හිඟයක් පවතින බවත් ඔහු සඳහන් කරයි. මේ තත්වය හමුවේ ජාතික රෝහල් කාර්ය මණ්ඩලයත් රෝගීනුත් දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

කොරෝනා වසංගතය මර්දනය පිළිබඳව නිසි වැඩපිළිවෙළ හා ඉලක්කය නැතිව කටයුතු කළ ආණ්ඩුවේත්, සෞඛ්‍ය බලධාරීන් අදූරදර්ශී තීන්දු තීරණවලට ප්‍රතිඵල හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ගෙවීමට සිදුව ඇතැයි ද මැදිවත්ත මහතා පැවසීය.  කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දැඩි පීඩා හා දුෂ්කරතා  ගණනාවක් මධ්‍යයේ සිය ජීවිත, රාජකාරිය වෙනුවෙන් කැපකරමින් අඛණ්ඩ සේවක නිරතව සිටින හෙද කාර්ය මණ්ඩලය ඇතුළු අනිකුත් සෞඛ්‍ය  සේවකන්ගේ මෙන්ම රෝගී  ජනතාවගේත් සුරක්ෂිතතාව ආරක්ෂා  කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් වහාම දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.


- නිමල කොඩිතුවක්කු-