weligama-thera-death

පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකගේ පහරකෑමට ලක්ව මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි වැලිගම ගොවියාපාන කපුවත්ත ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍යපාද තිත්තගල්ලේ දේවානන්ද නාහිමිපාණෝ පෙරේදා (16දා) අපවත්වූහ.
විහාරස්ථානය අසල ඇළේ මාළු අල්ලමින් සිටි තරුණයකු හට මසුන් මැරීමෙන් අකුසල් සිදුවන බවට උන්වහන්සේ පවසා තිබේ. හිමිනමගේ උපදෙස් වලින් කෝපයට පත් මෙම තරුණයා තවත් තරුණයන් සිව්දෙනකු සමඟ විහාරස්ථානයට පැමිණ උන්වහන්සේට පහරදී තිබේ.


එම පහරකෑම්වලට ලක්වූ ස්වාමීන්වහන්සේ මාතර මහ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇත.
මෙම පහරදීමට සම්බන්ධ සියලූ දෙනාට නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි වැලිගම ගුරුබැවිල ශ‍්‍රී නාගමහා විහාරාධිපති වැලිගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී පූජ්‍යපාද දෙනගම රාහුල හිමිපාණන් පොලිසියෙන් ඉල්ලා සිටිති.
දැනට කි‍්‍රයාත්මක වන නිරෝධායන නීති අනුව අපවත්වී වදාල පූජ්‍යපාද තිත්තගල්ලේ දේවානන්ද හිමිපාණන්ගේ ආදාහන කටයුතු ඊයේ 17 වනදා සිදු කරන ලද බවද දෙනගම රාහුල හිමියෝ කියා සිටියහ.
අපවත්වූ හිමිනම 89 වැනි වියේ පසුවිය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ සිදුකරන බව වැලිගම පොලිසිය කියයි.
සැකකරුවෝ අවුරුදු 23, 24 යන වයස්වල පසුවන වැලිගම පදිංචිකරුවෝ වෙති.

වැලිගම කපුවත්තෙ ශ‍්‍රී විවේකාරාම විහාරස්ථානය දෙදාහස් දාහතර වසරේ ආරම්භ කරන ලද්දකි. මෙම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ වැඩ සිටියත් දීර්ඝ කාලයක් කිසිවකුටත් වාසය කරන්නට අපහසුවූ බව කියැවේ. ඒ ප්‍රාදේශීය දුෂ්කරතා නිසාය.
තිත්තගල්ලේ දේවානන්ද හිමි මෙහි කුමන දුෂ්කරතා ඇතත් වාසය කරමි යි අදිටනින් මෙයට වසර දෙකකට ඉහත සිට මෙහි වාසය කරමින් සිටි බව පැවසිණි.
පසුගිය විසිනම වන දින බීමත්ව පැමිණි මැර කණ්ඩායමක් සිදු කරන ලද පහරදීම් හේතුවෙන් දින පහළොවක් පමණ මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට අපවත්වීම සම්බන්ධයෙන් පූජ්‍ය දෙනගම රාහුල හිමියන් මෙසේ පවසා තිබේ.
‘ මෙම ස්ථානය තුළ තිබෙන අලංකාර බව වැඩිවෙන්න එක හේතුවක් තමයි අසල පිහිටා තිබෙන ගොවියාපාන ගග. මේ ගඟේ ධීවර රැකියාව කරගෙන යන පිරිසක් නැහැ. ප‍්‍රදේශයේ එහෙම ලියාපදිංචි ධීවර සමිතියකුත් නැහැ. නමුත් කීප දෙනෙක් මේ විහාරස්ථානය ඉදිරිපස කොටසේ මාළු ඇල්ලීම සිදු කරන නිසා අපේ අපවත් වෙච්ච දේවානන්ද හාමුදුරුවන් මේ අයට විහාරස්ථානය ඉදිරිපස මෙවැනි අකුසල් සිදුවන දේවල් කරන්න එපා යි කියා කීප වතාවක් අවවාද කර තිබෙනවා. මේ ගැන උන්වහන්සේ වැලිගම පොලිසියේ පැමිණිල්ලක් දමා දැනුවත් කිරීමක් ද කර තිබුණා. උන්වහන්සේ ගේ ඉල්ලීම වුණේ විහාරස්ථානය ඉදිරිපස මීටර් හතළිහක් විතර කොටස අතහැර ඉන් එහාට ගිහින් ඕන එකක් කරන්න කියලා.
හරියටම පහුගිය අප්‍රේල් මස විසිනම වෙනිදා සවස හතරට පමණ තරුණයෙක් විහාරස්ථානය ඉදිරිපස මාළු ඇල්ලීම සිදු කරන අවස්ථාවේ උන්වහන්සේ ගිහින් එම තරුණයා ට අවවාදයක් කර තිබෙනවා මාළු ඇල්ලීමෙන් වළකින්නැයි කියා. පසුව එම සිද්ධියෙන් අනතුරුව හැන්දෑවේ ඔහු ත‍්‍රිරෝද රථයක තවත් පස්දෙනෙකු දමාගෙන පැමිණ සංඝාවාසය තුළ සිටි දේවානන්ද හාමුදුරුවන් එළියට ඇදගෙන ගොස් ඉතාමත් අමානුෂික ලෙස පහරදීම් සිදු කර තිබෙනවා.

ඉන්පසුව තමයි උන්වහන්සේ මාතර මහ රෝහලට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කරන්නෙ. දවස් පහළොවක් ප‍්‍රතිකාර ලබන උන්වහන්සේ අපවත්වෙනවා. මේ අපවත්වීමත් සමග ප‍්‍රදේශයේ ජනතාව ඉතාමත් දුකට පත් වුණා. ඒ වගේම ඔවුන් සියලූ දෙනා ඉල්ලා සිටිනවා මේ අපරාධය කළ සියලූ දෙනාට තරාතිරමක් නොබලා දඩුවම් ලබාදෙන්න කියා. මහා සංඝරත්නය වශයෙන් අප කියා සිටින්නේ බුද්ධ ශාසන ඇමතිතුමන්ට විශේෂයෙන් පොලිස්පතිතුමනි මේ පිළිබඳව ඔබතුමාලගේ අවධානය යොමුකර මෙවැනි අපරාධ නැවත සිදු නොවන ලෙස සියලූ අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙසයි .

 අපවත් වූ හිමියන් ට උපස්ථාන කරමින් කටයුතු කළ ආර්. බී. දර්ශන මහතා මෙසේ කීය.

‘මම දේවානන්ද හාමුදුරුවන් ට උපස්ථාන කර ගෙන තමයි විහාරස්ථානයේ රැඳී සිටින්නේ. ස්වාමීන් වහන්සේ පන්සලට ආපු මුල් කාලයේ ඉඳල ගමේ දානමාන වලට සහභාගි වෙලා මිනිස්සුන්ට ගොඩක් උදව් උපකාර කරපු හාමුදුරුනමක්. උන්වහන්සේ අපි කාගේත් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළා. කොරෝනා ආවට පස්සේ උදේ හවස සත්‍යක‍්‍රියා කරල මල් පහන් පූජා කරල මිනිස්සුන්ට සෙත් පැතුව. පහුගිය කාලයේ එක තරුණයෙක් මාළු බානකොට අවවාදයක් දීල තියෙනව මෙතන මාළු බාන්න එපා කියල. ඒක දුරට ගිහිල්ල තමයි මේ ප‍්‍රහාරය කරල තියෙන්නෙ. එදා හවස පහට විතර තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නෙ. ඒ වෙලාවෙ මම හිටියෙ නැහැ. ඊට පස්සෙ වැලිගම පොලිසියේ නිලධාරීන් ඇවිල්ල ස්වාමීන් වහන්සේ මාතර මහ රෝහලට අරගෙන ගිහින් තියෙනවා. ඒ රැගෙන ගිය අවස්ථාවේ ඉඳල මම ස්වාමීන්වහන්සේ ට උපස්ථාන කරමින් තමයි හිටියෙ.ඉතිං මේ සම්බන්ධයෙන් දැනට දෙන්නෙක් අත් අඩංගුවට අරගෙන තිබෙනව. තවත් තුන්දෙනෙක් අල්ලන්න තියෙනව. අපි කියන්නෙ තවත් මේ වගේ රටේ අපරාධ නොවෙන්න නීතිය ක‍්‍රියාත්මක කරන්න ඕන.‘

පූජ්‍ය දේවානන්ද හිමියන් ට මැර පිරිස පහරදීම් සිදුකරන අවස්ථාවේ එය ඇසින් දුටු ඩබ්.කේ. වීරසිංහ මහත්මිය තමන් දුටු දේ ගැන විස්තර කළේ ඉතාමත් වේදනාවෙනි . කදුළු පිරි දෑසින් යුතුව කතා කළ ඇය පවසා සිටියේ ...



‘ඒ සිද්ධිය වෙනකොට මම මෙතන ගෙදර ගාව හිටියෙ. එතකොට අපේ දූ මට අ`ඩගැහුව අම්මෙ ඉක්මනින් එන්න වැඩක් පෙන්නන කියල. ඒ පාර මම යනකොට ඩිලාන් පන්සලේ ඇතුළේ හාමුදුරුවන් ට ගහල. හාමුදුරුවන් වැටිල හිටියා. මම ගිහින් කිවුව පව් වැඩ කරන්න එපැයි කියල. එතන ඉන්න එක්කෙනකුට. එහෙම කිවුවම එයත් මට ගහන්න ආව. ඒ පාර මම එළියට ආව. පස්සෙ උන් එකතු වෙලා හාමුදුරුවන් එළියට ඇදගෙන ආව.ඇවිල්ල ඇල්බීසියා ලීයක් කැඩෙනකම් හාමුදුරුවන් ට ගැහුව. කවුරුවත් බේරන්න ඉදිරිපත් වුණේ නැහැ බයට. ඒ පාර හාමුදුරුවන් එයාලට වැන්ද ගහන්න එපා කියල. අපිට කරන්න කිසි දෙයක් නැහැ. හාමුදුරුවන් ගේ  ඇගේ සිවුරත් තිබුණේ නැහැ. අදනෙත් ගැලවිලා ගිහිල්ල. පස්සෙ තවත් දෙන්නෙක් ඇවිල්ල ගහපු කෙනා ඇදගෙන යනවා අපි දැක්කා. ඔක්කොම පස් දෙනෙක් එතන හිටිය.

පස්සෙ වැටිල හිටිය හාමුදුරුවන් ළගට අපේ පුතා ගියා . හාමුදුරුවන්ගෙ ඇගේ වස්ත‍්‍රයක් වත් තිබුණේ නැහැ. අපි බෙඞ්ෂීට් එකක් දාල හාමුදුරුවන් වැහුව. මූණෙ වතුරත් ගාල වතුර පොවල ඒ වෙලාවෙ හැටියට වැඩ කළා. පස්සෙ තමයි දර්ශන ඇවිල්ලා තවත් අය එක්ක හාමුදුරුවන් ඉස්පිරිතාලෙ ගෙනිච්චෙ. පොලිසියත් ආව.‘

 තොරතුරු - ලලිත් පද්මසිරි