කැලණි ගඟ පිටාර යාම නිසා පවුල් 680ක පුද්ගලයන් 2287 පිරිසක් ආපදාවට පත්ව ඇතැයි කඩුවෙල ප්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාලය වාර්තා කර තිබේ.



පවතින වර්ෂාපතනයත් සමග කැලණි ගගේ ජල මට්ටම ඉහළ යාමෙන් ගඟ ආශ්‍රිතව පිටාර වතුරෙන් යට වූ එම පිරිස අතරින් පවුල් 72ක සාමාජිකයන් 316ක් පමණ නිවෙස් වතුරෙන් යට වී අවතැන්ව සිටින අතර ඔවුන්
තාවකාලිකව සුරක්ෂිතව මධ්‍යස්ථාන 9ක රදවා තැබීමට පහසුකම් සපයා ඇතැයි කඩුවෙල ප්‍රාදේශීය මහ ලේකම් චතුර මිහිඳු මහතා ප්‍රකාශ කළේය.
පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගැනීමේදී ආපදාවට ලක්ව සිටින පවුල්වල සාමාජිකයන් තාවකාලික කදවුරුවල රදවා තැබීම බරපතල ගැටලුවක් බව ද ඒ නිසා කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය, සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහය අවතැන් වූවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට ග්‍රාමසේවක නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.