fertilizer-issue

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති අනුව රසායනික පොහොර තහනම් කර කාබනික ප්‍රභේදයට මාරුවීමට පසුගිය සතියේ ලබාගත් තීරණයෙන් පසු ලංකාවට පිටත්වන්නට එමින් සිටි  චීන නැව් දෙකක් ආපසු හරවා රසායනික පොහොර ආනයනය කිරීම සඳහා ණය ලිපි නිකුත් කිරීමද අත්හිටුවා තිබේ.


 නමුත් ගොවීන් පොහොර හිඟයක් ඇතිවේ යයි බියට පත්ව ඇත්තේ අවශ්‍ය තරම් කාබනික පොහොර ඉදිරි යල කන්නයට නොලැබෙනු ඇතැයි සැක නිසාය.
වී සහ අනෙකුත් භෝග සඳහා රසායනික පොහොර මෙට්‍රික් ටොන් 18,000 ක් රැගෙන චීනයෙන් නැව්ගත කිරීම සිදු කර තිබූ නැව් දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත.
දැනට නිරෝධායනය සදහා යොමුව සිටින කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා මේ ගැන කියා සිටියේ ජනපතිගේ නියෝගය තමා රසායනික පොහොර ආනයනය කරන සමාගම්වලට දැනුම් දුන් බවත් තවදුරටත් LC විවෘත නොකරන ලෙස බැංකුවලටද උපදෙස් දුන් බවයි.
“මෙම කන්නය පවතින පොහොර තොග සමඟ අපට කළමනාකරණය කර ගත හැකියි.. එය ඉදිරි මාස කිහිපය දක්වා පවතිවි.” ඇමතිවරයා පවසා තිබේ.
නමුත් රට පුරා ගොවි සංවිධාන කියා සිටියේ වර්තමාන යල කන්නය සඳහා පොහොර හිඟයක් දැනටමත් අත්විඳ ඇති බවකි.
ඉදිරි කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගිය සිකුරාදා පෞද්ගලික සමාගම් නියෝජිතයින් හමුවූ බවටද වාර්තා විය.
අවශ්‍ය ප්‍රමාණයන් නිෂ්පාදනය කිරීමට බොහෝ කාලයක් ගතවනු ඇති බව සමාගම් නියෝජිතයින් පෙන්වා දී ඇති බව වාර්තාවී තිබුණි.



කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික පොහොර ලේකම් කාර්යාලයට අනුව පසුගිය වසරේදී පොහොර මෙට්‍රික් ටොන් 574,705 ක් ආනයනය කර ඇති අතර මුළු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 1.2 කි. ඉතිරිය පෞද්ගලික අංශයෙන් ආනයනය කර තිබේ.

කාබනික පොහොර විශාල වශයෙන් ලබා ගත නොහැකි බැවින් මෙම කන්නයේ නිෂ්පාදනයට මෙම පියවර අහිතකර ලෙස බලපානු ඇතැයි ගොවි සංගම් ද හදිසි නිවේදනය ගැන කනස්සල්ල පළ කර තිබේ.

ක්‍රිස් කමලේන්ද්‍රන්
(සන්ඩේ ටයිම්ස් ලිපිය ඇසුරිනි)