eppawala-incident

එප්පාවල පොලිසිය පසුගියදා සැකකාරියක අධිකරණයට ඉදිරිපත් කළේ ඇගේ දියණියන් දෙදෙනකුට ශාන්ති කර්මයක් සිදු කරවා ගැනීමට දේවාලයකට ගිය අවස්ථාවේ ඒ දේවාලයේ දේව ගැතිවරයා දැරියගේ ශරීරයේ විවිධ ස්ථාන ස්පර්ශ කරමින් ශාන්ති කර්මය සිදු කළ අවස්ථාවේ සැකකාරිය මවක ලෙස ඊට විරෝධය නොදක්වමින් ආධාර අනුබල දුන් බවට චෝදනා කරමිනි. 

 එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුව සිදු කළ සම්පුර්ණ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ශාන්ති කර්මය පමණක් සිදුවූ නමුත් මෙවන් සිදුවීමක් සිදුව නැති බවයි.

එහිදී සැකකාර කාන්තාව කිසිදු අපරාධමය කටයුත්තකට සම්බන්ධ වී නොමැති බවද ඒ විමර්ශනයේදී තවදුරටත් අනාවරණ කර ගැණිනි. සැකකාරිය වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතීඥ නිමල් මාරසිංහ  මහතා සඳහන් කළේ මෙම සිද්ධිය සිදු වූවා යැයි කියන අවස්ථාවේ සැකකාරිය රජයේ පාසලක කාර්යාල කාර්යාල සහායිකාවක ලෙස සේවය කළ බවත් ඇයට එරෙහි චෝදනාව නිසා රැකියාව අහිමිව ඇති බවත්ය.
  වැඩිමහල් දියණිය උසස් පෙළ අධ්‍යාපනය හදාරා ඇති බවත් අනෙක් දියණියන් දෙදෙනා ද පාසල් වයසේ පසුවන බවත් කියා සිටි නීතිඥවරයා දේවාලයේ දේව ගැතිවරයා විසින් දැරියට ශාන්ති කර්මයක් සිදු කර ඇති බවත්,  එහිදී ඔහු දැරියන්ගේ ශරීරයේ ස්ථාන කිහිපයක්  ස්පර්ශ කර නැති බවද නීතීඥවරයා කීවේය.  
තම කුසින් උපන් දියණියන් දෙදෙනකු අපයෝජනය කිරීමට යමෙකුට ආධාර අනුබල ලබා දෙන්නේ කුමන මවකදැයි ප්‍රශ්න කළ නීතීඥවරයා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇය අත් අඩංගුවට ගැනීමට තරම් අවැසි සාක්ෂි නොතිබියදී බවත්, එම අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බවත් කීවේය.
 නීතීඥවරයාගේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය එප්පාවල පොලිසියට නියෝග කළේ සැකකාරියට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරන ලෙසයි. ඒ නියෝගයට අනුව එප්පාවල පොලිසිය සංශෝධිත පැමිණිල්ලක් ගොනු කිරිමෙන් පසුව සැකරියට  එරෙහිව පැවැති නඩුවෙන් ඇය මෙලෙස නිදොස් කොට නිදහස් කර මුදා හැර තිබේ.
 පාසල් කාර්යාල කාර්යාල සහයිකාවකට එරෙහිව අධිකරණය හමුවේ පැවැති නඩුවෙන් ඇය නිදොස් කොට  නිදහස් කර මුදා හැරි නිසා යළි රජයේ සේවය ලබාගෙන ඇත..

 -උපාලි ආනන්ද -