devi-balika-borella-nugegoda

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ එම විදුහල් පරිශ්‍රෙයන් ඉවත්කර නුගේගොඩ ශ්‍රී විජේරාම මහා විද්‍යාල පරිශ්‍රය වෙත කඩිමුඩියේ ගෙනයාමට කිහිපදෙනෙකු විසින් අත්තනෝමතික ලෙස දරණ උත්සහයට විරුද්ධව දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය  ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කරුණු හෙළි කළේය. 

හිටපු විදුහල්පතිනියන්, ගුරුභවතුන් සහ ආදි ශිෂ්‍යාවන්ගෙන් සැඳුම් ලත් මෙම සංවිධානයට ජ්‍යෙෂ්ඨ විද්‍යාර්ථීන්, නීතිඥවරියන්, වෛද්‍යවරියන් සහ විවිධ කේෂත්‍රවල වෘත්තීවේදිනියන් ඇතුලත් විය.
සංවිධානයේ සභාපතිනී නීතිඥ ආචාර්ය දයානි පනාගොඩ මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ  මෙසේ කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ සැලසුමකින් තොරව පාසලේ උන්නතිය සඳහා යැයි පවසමින් උසස් පෙළ විද්‍යා හා ගණිත අංශයන් නුගේගොඩ ශ්‍රී විජේරාම මහා විද්‍යාලය සමඟ ඒකාබද්ධ කිරීමට ගන්නා මේ උත්සහයේ සැඟවුනු අරමුණ කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති දේවි බාලිකා විද්‍යාලයේ වටිනා ඉඩම අත්පත් කරගැනීමට ඇතැම් පුද්ගලයන් සතු අභිමතාර්ථයන් මුදුන්පමුණුවා ගැනීම විය හැකි බවට සැක සහිත බවයි.



වර්තමානයේ මෙරට බාලිකා පාසල් අතර ප්‍රමුඛ ස්ථානයෙහි ලා සැලකෙන දේවි බාලිකා විද්‍යාලය 1953 දී ආරම්භ කරන ලද්දේ ගැහැනු දරුවන් සඳහා විද්‍යා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්ය. එතැන් පටන් දේවි බාලිකාව විසින් මෙරට පළමු ඉංජිනේරුවරිය, පළමු මිනින්දෝරු ජනරාල්වරිය, පළමු මහා භාරකාරවරිය වැනි පුරෝගාමීන් ගණනාවක් බිහි කර ඇත. මීට අමතරව විවිධ ක්ෂේත්‍රයන් රැසක බිහිකල විශිෂ්ට කාන්තාවන් දේශීය හා ජාත්‍යන්තර ඇගයීමට හා පිළිගැනීමට ලක්ව තිබේ. දේවි බාලිකාවේ කීර්ති නාමය නිර්මාණය කරනු ලැබුවේ සිසුවියන්, ගුරුවරුන් සහ විදුහල්පතිනියන්ගේ අප්‍රතිහත කැපවීමේ ප්‍රතිඵලයකිනි.

මෙහිදී අදහස් දැක්වූ හිටපු විදුහල්පතිනයක් වන කල්‍යානි ලක්ෂමන් මහත්මිය, “දේවි බාලිකාව සෑමවිටම අවධානය යොමු කළේ ප්‍රමාණයේ වර්ධනයට වඩා ගුණාත්මකභාවයේ වර්ධනයටයි. උසස් පෙළ අංශය මේ කියන ආකාරයට කිලෝමීටර් 10 ක් පමණ ඈත වෙනත් පාසල් භූමියකට රැගෙන ගියොත් කොහොමද වත්මන් විදුහල්පතිය ස්ථාන දෙකක් කළමනාකරණය කරන්නෙ? එයින් සිදුවන්නේ සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි නිසි අවධානයක් ලබා දීමට අපොහොසත් වීම වගේම ස්ථාන දෙකක් පරිපාලනය කිරීමේ විවිධ දුෂ්කරතා නිසා සිදුවන අවුල් සහගත තත්ත්වය විතරයි. ”  
“දුෂ්කරතා සහිත පාසල් වැඩිදියුණු කිරීමට අපි විරුද්ධ නැහැ. විවිධ ව්‍යාපාරිකයින්ට, දානපතියන්ට සෑම ආකාරයකින්ම අපගේ පාසලට ආධාර අරමුදල් සැපයිය හැකියි සහ අපි ඒ පිළිබද කෘතවේදී වෙනවා. නමුත්,අවශ්‍ය නම් තවත් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අපට ඹ්නෑ තරම් හිස් ඉඩකඩ පාසල පරිශ්‍රයේම තියෙනවා. අපේ කොන්දේසිය පාසල සංවර්ධනය කළ යුතු නම් එය පිහිටි ස්ථානයේ තිබිය දීම කළ යුතුයි යන්නයි. අපේ විද්‍යා අංශය වෙනත් පාසල් භූමියකට ගෙන යාම අර්ථ විරහිත කටයුත්තක්. ඇයි දුෂ්කරතා සහිත තවත් පාසල් අනන්තවත් තිබියදී අපේ පාසලම මේ සඳහා තෝරාගනු ලබන්නේ කියා අපිට සාධාරණ සැකයක් උපදින්නේ මේ දානපති ව්‍යාපාරිකයින් ඇත්ත වශයෙන්ම  බලා සිටින්නේ පාසලේ දියුණුව ද නැතිනම් එහි ඉඩමට කියා දෙවරක් සිතා බැලීමට අපව පොළඹවා තිබෙනවා ”යනුවෙන් හිටපු විදුහල්පතිනි ජයන්ති පින්නගොඩ පැවසුවාය.



තවද, ඹ්නෑම අයෙකුට විද්‍යාලය වෙත අරමුදල් සැපයීමට අවශ්‍ය නම්, එය  නිසි ක්‍රමවේදයට කළ යුතු බව නීතිඥ ආචාර්ය දයානි පනාගොඩ පෙන්වා දෙන්නීය. අධ්‍යාපන අමාත්‍යංශය හෝ පාසල් සුබසාධන හෝ පාසල් සංවර්ධන කමිටු හරහා එය පහසුවෙන් කළ හැකිව තිබුණත් මෙතෙක් මේ කටයුත්තට මූලික වී සිටින අය ඒ මාර්ගය භාවිතා නොකර රහසිගත හා අත්තනෝමතික ලෙස මෙය සිදු කිරීමට ප්‍රයත්න දැරීම පිළිබද සිය සංවිධානයේ දැඩි විරෝධය පළ කළාය.  
“අපි සියලු දෙනා පෙනී සිටින්නේ සර්ව සම්පූර්ණ අධ්‍යාපනය ක්‍රමයක් සඳහා යි. සිසුවියන් සදහා පමණක් නොවේ සිසුන් සදහා ද වැඩිදුර විද්‍යා විෂය අධ්‍යාපන අවස්ථාව ලබා දිය යුතු බව අපි අවධාරණය කරනවා. එහෙත් හොඳින් ස්ථාපිතව තිබෙන දේවි බාලිකාව වැනි පාසලක ගුණාත්මක භාවය අඩපණ කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුයි. දේවි බාලිකාවට තමන්ගේම අනන්‍යතාවයක් තිබෙනවා. මේ ආකාරයට විද්‍යා ගණිත අංශ වෙන පාසලකට රැගෙන යනවා නම්, මහින්දෝදය වැඩසටහන මඟින් සපයනු ලැබූ අති නවීන විද්‍යාගාර පහට අත්වන ඉරණම මොකද්ද? ”
යැයි මාධ්‍ය අමතමින් හිටපු ගුරුවරියක වන ඉන්ද්‍රානි හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රශ්න කළාය.

ව්‍යාපාරික බලවතෙකුගේ මැදිහත්වීමෙන් මෙසේ විනිවිදභාවයක් නොමැතිව විද්‍යාලයේ උසස් පෙළ අංශ වෙනත් ස්ථානයනකට රැගෙන යාමේ උත්සහය හෙලා දකින දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය සියළුම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම පියවර පරාජය කිරීමට අතිගරු ජනාධිපතිතුමාගේ සහ මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි. යම්හෙයකින් මෙම උත්සහය සාර්ථක වුවහොත්, එය කොළඹ ප්‍රමුඛ ස්ථාන වල පිහිටා ඇති අනෙකුත් රජයේ පාසල්වල පැවැත්මට තර්ජනයක් වනු සේම එමඟින් ප්‍රමුඛ පාසල්වල ශිෂ්‍ය ප්‍රජාවට එය අතිශ්‍ය අහිතකර ලෙස බලපානු ඇති බවද අනතුරු අඟවයි.