කොරෝනා වයිරසය ආසාදනය වූ ගැබිණි මවුවරුන් 70 දෙනකු රටපුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය)  විශේෂඥ වෛද්‍ය වික්‍රමාලි ද සිල්වර්ඩ් මහත්මිය පැවසුවාය.  

මේ අතුරින් මවුවරුන් තිදෙනකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඇය සඳහන් කළාය.   මෙවර පැතිර යන කොරෝනා වයිරසයෙන් කුඩා දරුවන් සහ ගැබිනි මවුවරුන්ට විශේෂයෙන් ආරක්ෂා විය යුතු බව කී විශේෂඥ  වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ඔවුන්ට මෙම වයිරසයේ සංකූලතා මතුවීම ඉහළ බව ද කීවාය.

රට පුරා රෝහල්වල කොවිඩ් වයිරසය ආසාදනය වූ දරුවන් රැසක් ප්‍රතිකාර ලබමින් සිටින බව කී වීශේෂඥ වෛද්‍යවරිය වයස මාසයත්, මාස 6ත් අතර දරුවන් ද ඒ අතර වන බව පැවසුවාය.  ගර්භණී මවුවරුන් හැකිතරම් ගමන් බිමන් සීමා කළ යුතු අතර ජනතාව ගැවසෙන තැන්වලට යාමෙන් වැළකී සිටිය යුතු බවත්, ගැබිණි මවුවරුන් මෙන්ම කුඩා දරුවන්  ශ්වසන ආසාදන ඇති අය අසලට යෑමේන්  වැළකී සිටිය යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.  ගැබිනි මවුවරුන්ට මෙන්ම දරුවන්ගේ  ප්‍රතිශක්තිය වැඩිවන ආකාරයේ ආහාර ලබාදීම, නිතර උණුසුම් පාන වර්ග ලබාගැනීම, අධි ශීතකරණයෙන් ලබාගත් මස් මාළු ආදිය පිළියෙළ කිරීමෙන් පසු හොඳින් දෑත්  සෝදාගෙන දරුවන්ගේ කටයුතු කිරීම, හැකි  තරම් නිවසේ සකසාගත් ආහාර ලබාදීම ආදී පුරුදු මෙම අවස්ථාවේ දී ඉතා වැදගත් බව ද චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.



මුල්ලේරියාව රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දර්ශිකා රණසිංහ මහත්මිය  පැවසුවේ එම රෝහලේ ගැබිනි මවුවරුන් 22  දෙනකු පමණ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.  එහි ප්‍රතිකාර ලබමින් සිටි එක් මවක නිසා කරාපිටිය රෝහලට යොමුකර එහි එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කර ප්‍රතිකාර ලබාදෙන බවත් ඇය කීවාය.  කොවිඩ් ආසාදිත මවුවරුන් බිහි කළ දරුවන් 11 දෙනකු පමණ මුල්ලේරියාව රෝහලේ සිටින බව කී වෛද්‍යවරිය ඔහුගෙන් දෙදෙනකු ද නොමේරු ළමා ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන් කළාය.

රෝහලෙන් එක් මවක් පිටව යන විට පැමිණිමට තවත් මවුවරුන් සිටින බවත්, ගැබිනි මවුවරුන් නිසි පරිදි ආරක්‍ෂා නොවීම ඔවුන් රෝගයට ගොදුරුවීමට හේතු වී ඇතැයි පෙනෙන බවත් වෛද්‍යවරිය පැවසුවාය. පසුගිය පෙබරවාරි මාසය වන විට මුල්ලේරියාව රෝහලේ දී කොරෝනා ආසාදිත  ගැබිණි මවුවරුන් බිහි කළ දරුවන් සංඛ්‍යාව   150ක් පමණ වූ බව කී විශේෂඥ වෛද්‍යවරිය එම දරුවන්ගෙන් පස්දෙනෙකුට පමණ බිහිවී සතියක් පමණ ඇතුළත කොවිඩ් ආසාදනය වූ  බවත්, සෙසු සියලු දරුවන් නිරුපද්‍රිතව නිවෙස්  කරා ගිය බවත් සඳහන් කළාය.

ඉකුත් මාර්තු මස මුල දී කොවිඩ් රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබුණත් වර්තමානයේ දී යළිත් ඉහළ ගොස් ඇතැයි කී ඇය ගැබිණි මවුවරුන් ජනතාව එක්රැස් වන  ස්ථානවල වැඩි වශයෙන් ගැවසීම, විනෝද  චාරිකා ආදියට සහභාගිවීම, සාප්පු සවාරිවල  යෙදීම ආදිය නොකළ යුතු බව ද කීවාය. මේ අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ එහි දරුවන් සඳහා වෙන්කර ඇති ඇඳන් සියල්ලම පාහේ මේ වන විට පිරී පවතින බවයි.


-ඩයනා උදයංගනී-