sundarabhawan-jaffna

ඊයේ ප්‍රතිඵල පිටවූ 2020 අපොස.උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන්  දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කර ගෙන තිබුනේ යාපනයේ චාවකච්චේරී හින්දු ජාතික පාසලේ තනරාජ් සුන්දරබවන් ශිෂ්‍යයායි.
මෙම සිසුවාගේම සොයුරියකද මෙවර ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිට ඇති අතර  තනරාජ් තරණිකා නමැති එම ශිෂ්‍යාව  යාපනය දිස්ත්‍රික්කයෙන් 30 වැනියා වීමද විශේෂත්වයකි.
සුන්දරබවන්ගේ මවත් පියාත්  ස්ථිර රැකියාවක නිරතව නොමැතිය. යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ සරසාලෙයි ගමේ ජීවත්වන ඔහුගේ පියා  සුන්දරම් තනරාජ්ය.මව සුජාතා තනරාජ්ය.ඔවුන් අධ්‍යාපනයේ පරතෙරට නොගියත් දරුවන් ඒ අවශ්‍ය තැනට මෙහෙයවා ඇත්තේ පවුලේ අගහිගකම් බොහොමයක් මැද්දේය.


තම පුතා ජාතික මට්ටමේ ජයග්‍රහණයක් හිමිකර ගැනීමේ සතුට ඔවුන් දෙදෙනාටම දරා ගැනීමට නොහැකි නිසාදෝ ඔවුන් ඊයේ මුළුෙ කාලයම ගත කළේ හඩමිනි.ඒ දුකට නොව සතුට ඔවුන්ට දරා ගැනීමට නොහැකි වීම නිසාමය.

දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් සුන්දරබවන් විභාගය සමත් බව  දැන ගැනීමත් සමගම ඔහු ශිල්ප
හැදෑරූ පාසල වෙත පැමිණියේ  විදුහල්පතිවරයා හමුවීමටය.එහිදී මෙසේ පවසා තිබුණි.

”අපි මේ විභාගයට මුහුණ දුන්නේ ගොඩාක් අසීරුකම් මැද්දෙයි. කොරෝනා වසංගතය නිසා පාසල් ඒමට
නෙමෙයි ගෙදරින් එළියට ඒමටවත් හැකි වුණේ නෑ. ඒත් ගුරුවරු අපිට විවිධ ක්‍රම වලින් ඉගැන්වූවා. මගේ
ජයග්‍රගණය පසුපස ඒ ගුරුවරු සියලු දෙනාම වගේ මගේ දුප්පත් අම්මා තාත්තා අක්කා ඇතුලු පවුලේ
සියලුම දෙනා හිටියා.ඉංජිනේරුවෙක් වෙලා මේ රටට සේවය කිරීම තමයි මගේ එකම බලාපොරොත්තුව”


සුන්දරබවන් එසේ ප්‍රකාශ කළේ දැඩි හැගීමෙන් යුතුවය.

විදුහල්පති එස්.ශිවෙන්ද්‍රන් මහතා මේ අති දක්ෂ සිසුවා ගැන කතා කළේද ඉතාම ඉහලිනි.

”සුන්දරබවන් හරීම දක්ෂයි.එයා මේ විභාග කටයුතු අධ්‍යාපන කටයුතු කියලා ඒකෙම එල්ලිලා හිටියේ
නෑ.ක්‍රීඩා කළා.ඒවගෙන් දස්කම් පෙන්නුවා.ජාත්‍යන්තර ඔලිම්පියානු තරගයට සහභාගි වුණා.බැංකොක්
ගිහින් පදක්කම් ලැබුවා.ඔහුගේ මේ ජයග්‍රහණය ගැන මුළු යාපනයම සතුටට පත්වෙලා ඉන්නවා.ඒ වගේම
අපේ පාසලට පළාතට මේ ජයග්‍රහණය විශාල ජයග්‍රහණයක්”

දිනසේන රතුගමගේ