covid19-avurudu-rella

මේ වනවිට රටපුරා ප්‍රදේශ ගණනාවකින්  කොරෝනා තවත් රෝගීන් රැසක් හමුව තිබෙන බව සෞඛ්‍ය අංශ කියයි. 

පානදුර

 නිරෝධායනය නීතිරීති උල්ලංඝනය කරමින් පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක පැවැත්වූ විභාගයකට ඊයේ (4) ජනතා විරෝධයක් එල්ල වූහ. ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් සමගම එම ස්ථානයට පැමිණි පානදුර දකුණ පොලිසියේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් පාලනාධිකාරියෙන් විමසීමක් කළහ.
එහිදි එම ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිවරයා විසින් අවසර ලබාගත් ලිපිය පොලිස් නිලධාරින් වෙත ඉදිරිපත් කළේය. එහිදී පොලිස් නිලධාරින් පැවසුවේ එම ලිපිය පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හරහා පැමිණිය යුතු බවය. මේ පිළිබඳව පානදුර සෞඛ්‍ය වෙද නිලධාරී කාර්යාලයෙන් සහ පානදුර දකුණ පොලිසියේ උසස් නිලධාරින්ගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඔවුන් පැවසුවේ මේ සම්බන්ධයෙන් ඉහළ නියෝගයක් ලැබී ඇති බවය.



ගම්පහ

 ගම්පහ දිස්ත්‍රික්කයේ 328 දෙනකු කොරෝනා ආසාදිතයින් පිරිසක් ලෙස ඊයේ (4 වැනිදා) උදැසන වනවිට ගතවූ පැය 24ක කාලය තුළ හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි. ඊයේ උදෑසන වනවිට ගතවූ පැය 24ක කාලය තුළ 64 දෙනකු වන වැඩිම ආසාදිත පිරිසක් සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිවුලපිටිය කොට්ඨාසයෙන් 40 ක්, මිනුවන්ගොඩ - 39 ක්, මිරිගම - 33 ක්, මහර - 31 ක් අත්තනගල්ල සහ ජාඇල යන කොට්ඨාසවලින් 20 දෙනකු බැඟින්ද හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.
ගතවූ පැය 24 ක කාලයේ රෝහල්වල සිදුකළ පිසී.ආර්. පරික්ෂණවලින් ආසාදිතයන් 13 දෙනකු සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ක්ෂේත්‍රයේ සිදු කළ පරික්ෂාවලින් ආසාදිත 255 දෙනකු හමුව ඇති බවත් කටුනායක ආයෝජන කලාපයෙහි කර්මාන්තශාලාවලින් 24 දෙනකු හමුව ඇති බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. මෙම ආසාදිතයගේ ළඟම ආශ්‍රිතයන් 6145 දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ආසාදිතයෝ  100 දෙනෙක් පැය 24 ක් තුළ දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන හයට ඇතුළත් කරනු ලැබ සිටිති. ඊයේ වනවිට එම මධ්‍යස්ථානවල පවතින ඇඳන් 511 න් ඇඳන් 425ක් පිරි තිබූ බව සඳහන් කළ සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ 2,36,095 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂාවට ලක් කර  ඇති බවද කීය.


යාපනය
 යාපනය පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාත් 38 දෙනකුට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි යාපනය පොලිසිය පවසයි. පසුගිය අප්‍රේල් මාසයේ 12 වැනිදා සිට ඊයේ (4 වැනිදා) දක්වා  පොලිස් නිලධාරින් 38 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති අතර පළමුව නිලධාරින් 09 දෙනකුට ආසාදිත බවට වාර්තා වීමත් සමග යාපනය පොලිසියේ එම නිලධාරින් සමීප ආශ්‍රිතයෝ පී.සී.ආර්. පරික්ෂණයට යොමු කරනු ලැබූහ.
මේ අනුව වරින් වර ලබාගත් පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවලට අනුව ආසාදිතයන් හඳුනාගෙන ප්‍රතිකාර සහ නිරෝධායනයට  යොමු කර ඇති බවටද යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය සඳහන් කළේය. යාපනය පොලීසියේ පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් මහජනතාව සමග සහ රාජකාරි කටයුතුවල නිරත වීමේදී දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසටද යාපනයේ සෞඛ්‍ය නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් උපදෙස් දී ඇත.

වැලිගම

වැලිගම නගරයේ ලංකා බැකු ශාඛාවේ සේවය කරන නිලධාරීන් තුන් දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට ඉකුත් 3 වැනිදා හඳුනාගැනීම සමග වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ උපදෙස් මත එම බැංකු ශාඛාව ඊයේ 4 වැනිදා සිට වසා දැමීමට පියවර ගත් බව බැංකු කළමනාකාරිත්වය කියයි.  වැලිගම ලංකා බැංකු ශාඛාවේ සේවය කරන නිලධාරියකු කොවිඩ් ආසාදිත බවට 3 වැනිදා තහවුරු වීම සමග එම ශාඛාවේ සේවය කරන නිලධාරින් 29 දෙනකු ඇන්ටිජන් පරික්ෂාවට ලක් කිරිමට වැලිගම මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පියවර ගෙන තිබිණි.

එහිදී නිලධාරින් තිදෙනකු ආසාදිත බවට හඳුනාගෙන තිබු අතර ආරක්ෂක නිලධාරියකු, ගිණුම් අංශයේ නිලධාරියකු හා ණය  අංශයේ නිලධාරියකු ලෙස වාර්තා වී තිබිණි. මෙම හේතුවෙන් නිලධාරින් විසිහය දෙනකු නිරෝධායනයට යොමු කිරිම නිසා මේ වනවිට වැලිගම ලංකා බැංකු ශාඛාවට තාවකාලිකව වසා දැමීමට එහි කළමනාකාරිත්වය පියවර ගෙන ඇත.



 බඳුල්ල
 බදුල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හය දෙනකු කොරෝනා  ආසාදිත වී බණ්ඩාරවෙල බිඳුණුවැව කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ. මෙම පන්තියේ සිසුවකුගේ මවට, පියාට ආසාදිත වී පසුව එම සිසුවාට කොවිඩ් ආසාදනය වී ඇතැයි එම නිලධාරිහු කීහ . පසුව එම පන්තියේ සෙසු සිසුන් සහ ගුරුවරුන් ස්වයං නිරෝධායනයට ලක් කර පීසීආර් පරික්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිත සිසු පිරිස හමුවිණැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සඳහන් කළහ.  මෙම සිසුන්ගේ මව්පියන්ද ස්වයං නිරෝධායනයට ලක් කර සිටින බවත්, ඔවුන්ද පීසීආර් පරික්ෂණයට ලක් කිරිමට කටයුතු සිදු කර ඇතැයි එම නිලධාරිහු වැඩිදුරටත් පවසා සිටියහ.

දෙල්ගොඩ

 දෙල්ගොඩ ඉන්ධන පිරවුම් හලේ සේවකයන් දෙදෙනකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම නිසා එම ඉන්ධන පිරවුම් හල ඊයේ (04) සිට තාවකාලිකව වසා දැමු බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක  සමන් පෙරේරා මහතා පැවසීය. දෙල්ගොඩ ඉන්ධන පිරවුම් හලේ සේවකයන් තිදෙනකු සඳහා පෙරේදා (03) සිදුකළ අහඹු පී.සී.ආර්. පරික්ෂණයෙන් පසු ඉන් සේවකයන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බවත් මේ අනුව එහි සේවකයන් හතර දෙනකු නිරෝධායනය සඳහා යොමු කර තාවකාලිකව ඉන්ධන පිරවුම් හල වසා දැමූ බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් පෙරේරා මහතා පැවසීය.
බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ ඉකුත්  දෙදින තුළ ආසාදිතයන් 75 දෙනකු හමුවී ඇති බවත් දිනපතා පළමු පෙළ ආසාදිතයන් ඇතුළුව අහඹු පී.සී.ආර්. පරික්ෂණ 200ක් සහ ඇන්ටිජන් පරික්ෂණ 50ක් සිදු කරන බව ද පෙරේරා මහතා පැවසීය.


නිට්ටඹුව

නිට්ටඹුව ශ්‍රී ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරුන් දෙදෙනකු  කොරෝනා වයිරසයට ගොදුරුවී ඇති බව තහවුරු වීම නිසා ඩිපෝ කාර්ය මණ්ඩලයේ 50ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකළ බව අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක මනිල් සෝමතිලක මහතා පැවැසීය. ඩිපෝවේ රියැදුරන්, කොන්දොස්තරවරුන්, කාර්මික ශිල්පීන් සහ කාර්යාල සේක පිරිසක් මෙසේ ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. නිට්ටඹුව ශ්‍රී ලංගම ඩිපෝවේ කාර්ය මණ්ඩලයේ පිරිසකට ඊයේ 4 වැනිදා දහවල් පී.සී.ආර්. පරික්ෂණ සිදුකළ බව ද මහජන සෞඛ්‍ය පරික මනිල් සෝමතිලක මහතා වැඩිදුරටත් පැවසීය.


පාදුක්ක
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උග්ගල්ල ප්‍රදේශයේ 66 හැවිරිදි තැනැත්තකු කොවිඩ් වයිරසය ආසාදනය වීම නිසා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. උග්ගල්ල ප්‍රදේශයේ මංගල උත්සවයක් පැවැති නිවසක පියකු මෙලෙස මියගොස් ඇති බවත් මෙම මංගල උත්සවයට සහභාගි වූ ප්‍රදේශයේ පවුල් 50ක 100ක පමණ පිරිසක් පෙරේදා (3) දින පාදුක්ක සති පොළ භූමියේදී පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කළ බවත් එම කාර්යාලය සඳහන් කළේය.

පාදුක්ක නගරයට මුඛ ආවරණ නොමැතිව හා නිසි පරිදි මුඛ ආවරණ නොපැලඳ පැමිණි පුද්ගලයන්ට සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලින් ලද වාර්තා අනුව 5දෙනකුට කොරෝනා ආසාදිත බවට වාර්තා වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක උදිත නලින් රණසිංහ මහතා ඊයේ (4) දින පැවැසීය.මෙම පිරිස පාදුක්ක ප්‍රදේශයේ පදිංචි හා ප්‍රදේශයෙන් පිටත පදිංචි බව සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රදේශයේ පවතින අවදානම් තත්වය මත මුඛ ආවරණ නොමැතිව හා නිසි පරිදි මුඛ ආවරණ නොපැලඳ පාදුක්ක නගරයට පැමිණෙන පුද්ගලයන් හඳුනාගෙන සමාජයේ ආරක්ෂාව පතා පී.සී.ආර්. පරික්ෂණ සඳහා ඉදිරිපත් කරන ලෙස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය දුමිත්‍ර කහන්ගමගේ මහතා උපදෙස් දී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් පැවැසීය.

මොරටුව

මොරටුව මොරටුමුල්ල පොලිස් බලප්‍රදේශයේ විලෝරාවත්ත ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කර ඇති  අතර මේ වනවිට විල්ලෝරාවත්ත ග්‍රාම සේවා වසමේ කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව තිස්පස්දෙනකු බව මොරටුව සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට මොරටුමුල්ල පොලිසියේ මැදිහත් වීමෙන් අදාළ ප්‍රදේශයන්හි මාර්ග වසා දැමීමට කටයුතු කරමින් සිටින අතර නැවත දැනුම් දෙනතුරු මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විලෝරාවත්ත ග්‍රාම සේවා වසම හුදෙකලා කර ඇත.

මොරටුව මහ නගර සභා කසළ අංගණයෙන් වාර්තා වූ කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ ඊයේ (04) පැවසීය.ඒ අනුව මොරටුව බල ප්‍රදේශයෙන් දින දෙකක් ඇතුළත වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 57 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.මොරටුව නගර සභා කසළ අංගණයේ සේවකයෙක් තුළින් උණ සහ උගුරේ ආබාධ මතුවූ හෙයින් නගර සභා සෞඛ්‍ය අංශයේ දැනුම් දීමට අනුව ඔවුන්ගේ රැපිඩි ඇන්ටිජන් පරික්ෂණ සිදුකර ඇති අතර ඒ තුළින් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 19ක් දක්වා ඉහළ ගොස් ඇත මේ වනවිට මොරටුමුල්ල, වීලෝරාවත්ත ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත්කර ඇත. මොරටුව මහ නගර සභා කසළ අගය කෝවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමග නැවත දැනුම් දෙන තුරු නගර සභාවෙන් සැපයෙන සේවාවන් රැසක් අත්හිටුවීමට පියවර ගත් බව මොරටුව නාගරික කොමසාරිස් සචිත් දර්ශන තෙවරප්පෙරුම මහතා ඊයේ (04දා) පැවසීය.

එසේ නවත්වා ගනු ලැබූ සේවාවන් ලෙස නොදිරන කසළ භාරගැනීම, සැලසුම් භාරගැනීම, දේපළ අයිතිය මාරු කිරීමේ සේවා, වීදි රේඛා සහතික නිකුත් කිරීම, කානු පිරිසිදු කිරීම, ඍජු ශ්‍රමික කර්මාන්ත කටයුතු වැනි සේවාවන් නැවත දැනුම් දෙනතුරු අත්හිටවු වූ බව ඒ මහතා පැවසීය. එමෙන්ම මොරටුව මහ නගර සභාවෙන් සපයන අත්‍යවශ්‍ය සේවාවන් වන සෞඛ්‍ය, විදුලි ගිනි හා  කටයුතු මෙම මිශ්‍ර ආදායම් දේපළ කටයුතු පෙර පරිදිම සිදු කෙරෙන බවද ඒ මහතා පැවැසීය. මේ වනවිට ආසාදිතයන් 19දෙනෙකු මොරටුව මහනගර සභා කසළ අංගණයෙන් මතුවීම්මත් සමග නාගරික මන්ත්‍රීවරුන් සහ සේවක කාර්යමණ්ඩලයට පී.සී.ආර් පරික්ෂණ සිදු කරන්නේදැයි අප කොමසාරිස්වරයාගෙන් විමසා සිටි අතර ඒ සදහා අවශ්‍ය සුදුසු පියවර ගැනීමට අදාළ අංශ වෙත මේ වනවිටත් දැනුම්දී ඇති බවද පවසා සිටියේය.

බුලත්සිංහල
බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් ඇති අතර පවුල් 13ක් නිරෝධායනය කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව වයිරසය ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 839 දක්වා ඉහළ යන අතර ඉන් රෝගීහු 825ක් සුවය ලබා සිටිති. නිරෝධායනය කර ඇති සමස්ත පවුල් සංඛ්‍යාව 1,529 දක්වා ඉහළ යන අතර ඉන් පවුල් 1,393ක් නිරෝධායනය අවසන් කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතා පැවැසීය.නව රෝගීන් හමු වූ ස්ථාන ලෙස කොබවක, බුලත්සිංහල, දියකඩුව, කෝන්ගස්තැන්න, දේවමුල්ල, ඉහළනාරගල, හල්වතුර, ඈගල්මය, අමරගෙදර, දෙමෝදරවත්ත, බෝගහවත්ත සහ ගෝවින්න යන ප්‍රදේශ හඳුනාගෙන තිබේ.

දොඩම්ගොඩ

දොඩම්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  බලසීමාව තුළ පිහිටි වෙළඳසල් ඊයේ (4) දින සිට නැවත දැනුම්දෙන තෙක් වසා දැමීමට පියවර ගත් බව දොඩම්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අසංග බලපිටිය මහතා පැවැසීය. ඖෂධසල්, සිල්ලර, මස්, මාළු, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය සේවා පමණක් සපයන වෙළෙඳසල් පමණක් දවසේ නියමිත කාල සීමාවක් තුළ විවෘතව තැබීමට අවසර ඇතැයි කී පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඒවා ද සෞඛ්‍ය නීති රිතිවලට අනුකූල විය යුතු බව ද සඳහන් කළේය.දොඩම්ගොඩ බෝඹුවල, තෙබුවන, නෑබොඩ, සපුගහවත්ත, තඩුගල, පුහුලුගොඩ යන ප්‍රදේශවල කොරෝනා රෝගය තදින් බලපවත්නා ප්‍රදේශ ලෙස සලකා වෙළෙඳසල් වසා දැමීමේ තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.

අවිස්සාවේල්ල

අවිස්සාවේල්ල නගර බලප්‍රදේශයේ කරන ලද පී.සී.ආර්. පරික්ෂග්නවලින් කොරෝනා ආසාදිතයන් 15 දෙනකු වාර්තා වූ බව සීතාවකපුර නගර සභා මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය ප්‍රධාන නිලධාරි එන්.ආර්. වික්‍රමසිංහ මහතා (4) පවසයි.ඉකුත් 29 වැනිදා පුවක්පිටිය සති පොළේ හා අවිස්සාවේල්ල නගරයේ පවත්වන ලද 368 දෙනකුගේ පී.සී.ආර්. පරික්ෂණවලින් මෙලෙස වාර්තා වූ බවත් මෙය සියයට හතරකට අඩු ප්‍රතිශතයක් බවත් නැවත පී.සී. ආර්. පරික්ෂණයක් ලබන 8 වැනිදා අවිස්සාවේල්ල පුවක්පිටිය පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු සලසා ඇති බවත් ඒ මහතා පැවැසීය.

බදුරලිය

බදුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ප්‍රදේශ කිහිපයකින් හමුවූ කෝවිඩ් ආසාදිතයන්ගෙන් 108 දෙනෙකු රෝහල්ගත කිරීමට නොහැකිව තවමත් සිය නිවෙස්වල රඳවා තිබෙන බව බදුරලියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි රෝහල්වල ඉඩකඩ නොමැතිවීම සහ රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා පහසුකම් අවම වීම නිසා මෙම තත්වය උද්ගත වී ඇත.බදුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ද වෛද්‍ය නාලක ජයසිංහ මහතා පවසා ද සිටියේ, මෙම රෝගීන් හැකි ඉක්මනින් රෝහල්ගත කිරීම සඳහා අවශ්‍ය උපරීම උත්සාහය ගනිමින් සිටින බවයි.

කැස්බෑව

කැස්බෑව සොඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් පසුගිය අප්‍රේල් 15 වැනිදා සිට ඊයේ (04දා) වනවිට කෝවිඩ් ආසාදිතයන් 810ක් පමණ වාර්තා වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය. පසුගිය 30වැනිදා සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ 268කින් ආසාදිතයන් 61කු වාර්තා වූ බවත්, සිදුකළ පී.සී.ආර් පරික්ෂණ 513 ප්‍රතිඵල වාර්තා ලැබීමට නියමිතව ඇති බවද වෛද්‍යවරිය සඳහන් කළාය.

කුරුවිට
කුරුවිට බන්ධනාගාරයෙන් ඊයේ (04දා) දහවල් වනවිට කෝවිඩ් 19 ආසාදිත බව තහවුරුවූ රැදිවියන් ගණන 64ක් බව කෝවිඩ් මර්දන කමිටුව පවසයි. කුරුවිට බන්ධනාගරයෙන් ඊයේ (04දා) දිනට පෙර වාර්තවූ කෝවිඩි ආසාදිත සිරකරුවන් 35දෙනා ප්‍රතිකාර සදහා යාපනය අයියකච්චි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ (04දා) වනවිට යවා ඇති බව කුරුවිට සහකාර බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතා පැවසුවේය. ගෙවුණු සතියක කාලය තුළ කළ පී.සී.ආර් පරීක්‍ෂණවලදී 16ක්ද ඉත්පසුව කළ පී.සී.ආර්. පරික්ෂණයෙන් 19ක්ද මෙලෙස කෝවිඩ් ආසාදිත බව තහවුරු වීමෙන් පසු ප්‍රතිකාර සදහා ඔවුන් අයියකච්චි ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇති බවද සහකාර බන්ධනාගාර අධිකාරිවරයා පැවසීය.

කැලණිය

කැලණියේ ඊයේ (04දා) සහ පෙරේදා (03දා) දින දෙකට කෝවිඩ් ආසාදිතයන් 21දෙනෙකු වාර්ත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.මෙලෙස වාර්තා වූ වැඩි පිරිසක් කැලණිය ප්‍රදේශයෙන් පිට ප්‍රදේශවල සේවය කල අය බව සෞඛ්‍ය අංශ පවසයි.ඔවුන් සේවය කරන ආයතනවලින් සහ පෞද්ගලිකව සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව රෝගී ආසාදිතයන් ලෙස වාර්තා වී ඇත.පෑලියගොඩ 04,පොල්හේන්න 04, දළුගම 02, ගල්බොරැල්ල 02 සහ අනෙක් ගම්වලින් ආසාදිතයෙකු බැගින් වාර්තා වී ඇත අතර, මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිවෙස්වල නිරෝධායනයට යොමු කර තිබේ. පෑලියගොඩ මැනිං වෙළද පොළේ ව්‍යාපාරික කටයුතුවල යෙදෙන සේවක පිරිස් අතරින් 120දෙනෙකු පෙරේදා (03දා) දින පී.සී.ආර්. පරික්ෂාවට ලක්කළ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ සේවක පිරිස් අතරින් 160 දෙනෙකුද ඊයේ (04දා) පී.සී.ආර්. පරික්ෂාවට ලක් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. එහි ප්‍රතිඵල අද (05දා) ලැබීමට නියමිත අතර, ඒ අනුව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය.

බලන්ගොඩ

බළන්ගොඩ ලංගම ඩිපෝ කාර්යාල අංශයේ සේවක මහතෙකුට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එහි අයිතයන් 22 ක් නිරෝධායනයට ලක්කර ඇත.
මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මෙම ෙසේකයා ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කිරීමෙන් පසුව රෝගී බව අනාවරණය වී තිබේ. තත්වය මෙසේ වුවත් දිනපතා බස් ධාවනයට බාදාවක් නොමැති අතර දිනකට බරථ 90 පමණ ධාවනයට යොදවා ඇතැයි ඩිපෝ අධිකාරි ධර්මප්‍රිය හරිශ්චන් මහතා සඳහන් කළේය.

බලන්ගොඩ පළමු කෝවිඩ් මරණය 04දා වාර්තා වන බව බලගොඩ සොඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. බලන්ගොඩ පොල්වත්ත හන්දියතැන්නහේන මාර්ගයේ පදිංචිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මෙලෙස මියගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරි පැවැසූහ. ඇය ඉකුත් 02 වැනිදා නිවසේ සිට ගෙවත්තට යන අතරතුර ක්ලාන්තය හටගෙන ඇද වැටී තිබෙන අතර අනතුරුව බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කරන විටද මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෘත දේහය සම්බන්ධයෙන් බලන්ගොඩ මූලික රෝහලේදී පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරිමෙන් පසු එහි ප්‍රතිඵල අනුව ඇයට කෝවිඩ් වෛරසය ආසාදනය වීම හේත්තුවෙන් මියගොස් ඇති බවට තහවුරු වී තිබේ.


බගවන්තලාව

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ඉන්ජස්ට්‍රි හා ෆෝඩයිස් වතු වලින් කෝවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග එම වතු දෙකට මායිම්ව පවතින පූලියාවන්ත කඩ වීදිය ඊයේ (04දා) සිට වසා දැමීමට පියවර ගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය. | මේ පිළිබදව වැඩිදුරටත් කරුණු දැක්වූ එම නිලධාරියා පැවසූවේ, කෝවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග ඊයේ (04) හුදෙකලා ඉන්ජස්ට්‍රි හා ෆෝඩයිස්  ග්‍රාම සේවා වසම්වලට මායිම්ව මෙම පුලියාවන්ත කඩ වීදිය පිහිටා ඇති බවත් එම තත්වයන් මත මෙම කඩ වීදිය මෙසේ වසා දැමීමට කටයුතු කළ බවත්ය. හුදකලා කෙරුණු ග්‍රාම සේවා වසම් දෙකේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා පුලියාවත්ත කඩ වීදියේ වෙළඳුන් පී.සී.ආර්. පරික්ෂාවට ලක්කිරීමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩිදුරටත්පැවසීය.

දන්කොටුව

දන්කොටුව බුජ්ජම්පොළ ප්‍රදේශයේ මාර්ගයක පා ගමනින් යමින් සිටියදී හදිසියේ බිමට ඇදවැටී මියගිය පුද්ගලයාට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇයි දන්කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. බුජ්ජම්පොළ ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු මෙලස ජිවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණය වී තිබේ. අදාළ පුද්ගලයා මාර්ගයේ බිම වැටීමෙන් පසු මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහිදී සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයකින් ඔහුට කෝවිඩ් වැලදී ඇති බවට අනාවරණය වී ඇතැයි දන්කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් සියල්ල නිවෙස්වලම නිරෝධායනයට යොමු කර ඉදිරියේදී ඔවුන්ට පී.සී.ආර්. සිදු කිරීමට පියවර ගන්නා බව දන්කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල ගුණවර්ධන මහතා පැවැසීය.

ගාල්ල

ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 17දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එච්.බි.පි ගුණවර්ධන මහතා පැවසුවේ පසුගිය 25 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මෙම ආසාදිතයින් පිරිස වාර්තා වූ බවයි.
එම ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පිරිසක් පසුගිය දිනෙක පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
ආසාදිතයින් වාර්තා එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 600දෙනෙකු පමණ සේවය කරයි.

කොග්ගල

කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලා තුනකින් ඊයේ (04දා) උදෑසන කොවිඩ් රෝගීන් විස්සක් වාර්තා වී ඇත. ඊයේ (04දා) උදෑසන වනවිට ගතවූ දින දෙකකදී කොග්ගල ඇඟලුම් කම්හල් හයකින් තවත් රෝගීන් සිය දෙනකු සොයා ගැනීමට හැකිවී තිබේ.
මේ සමග තවත් ළඟම ආශ්‍රිතයන් හයසීයක් පීසීආර් පරීක්ෂාවලට ලක් කර ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

බදුල්ල
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් බදුල්ල රත්වත්ත මාවතේ පිහිටි බදුල්ල ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලයේ සේවිකාවකට කොවිඩ් 19 ආසාධිත බව තහවුරුවීම නිසා පෙරේදා (3 වැනිදා) සහ ඊයේ (4 වැනිදා) යන දිනයන්හි එම කාර්යාලය තාවකාලිව වසා දැමූ බව බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
ඇල්ල මකුල්ඇල්ලේ හෝටලයක පැවති මංගල උත්සවයකදී මෙම සේවිකාවට
ඇගේ මවට පියාට සහ දරුවාට කොවිඩ් ආසාදනය වී ඇති බව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී තහවුරු වී තිබේ.

මැදගම

මැදගම ප්‍රාදේශීය රෝහල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීමෙන් පසු දින දෙකක් තුළ කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ රෝගීන් හැත්තෑ හත්දෙනකු ඊයේ (04දා) වන විට ප්‍රතිකාර ලැබූ බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක පැවසීය.
මෙම රෝහලේ ඇඳන් 100 ක් තිබෙන අතර ඉතිරි ඇඳන් සඳහා ද රෝගීන් ඇතුළත් කිරීමට නියමිතය. මොනරාගල දිස්ත්‍රික්කයෙන් දිනපතාම කොවිඩ් 19 රෝගීන් වාර්තා වන බැවින් බුත්තල ප්‍රාදේශීය රෝහල ද කොවිඩ් 19 රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට මේ දිනවල කටයුතු කරගෙන යමින් තිබේ

කළුතර
කළුතරින් නව කොරෝනා ආසාදිතයන් 259 දෙනකු පෙරේදා (03දා) හඳුනාගෙන තිබුණි.
පොලිස් වසම් මට්ටමින් ඔවුන් වාර්තා වී ඇත්තේ මෙසේය.
 දකුණු කළුතරින් 34ක්, තෙබුවත්ත 02ක්, වරකාගොඩින් 01ක්, බේරුවලින් 04ක්, උතුරු කළුතරින් 07ක්, අලුත්ගමින් 11ක්, පයාගලින් 06ක්, මීගහතැන්නෙන් 19ක්, බදුරලියෙන් 40ක්, තිනියාවලින් 06ක්, වැලිපැන්නෙන් 06ක්, මතුගමින් ඉංගිරියෙන් 10ක්, මොරහේනෙන් 04ක්, හොරණින් 09ක්, මිල්ලනියෙන් 15ක්, වාද්දුවෙන් 01ක්, බණ්ඩාරගමින් 13ක් හා පානදුර දකුණ ප්‍රදේශයෙන් 64ක් වශයෙනි.

කැකිරාව

කැකිරාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඊයේ (04දා) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයන් ගණන 93 දක්වා ඉහළ ගොස් ඇතැයි කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
නව ආසාදිතයන් සූරියගම, ඉහළගම හන්දිය හා යකල්ලපාර යන ප්‍රදේශවලින් හමු වී ඇත.

අලව්ව

අලව්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 25 දෙනකු හමුවී ඇති අතර ඔවුන් සියලුදෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බව අලව්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ධම්මික බාලසූරිය මහතා පැවසීය.
මෙම ආසාදිතයන් විසිපස් දෙනාගේ ආශ්‍රිතයන් 546 දෙනකු නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක්කොට ඇත. මෙම සියලු ආසාදිතයන් අලුත් අවුරුදුවලින් පසුව හමුවූ අයයි.

බුලත්සිංහල
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉකුත් 03 වැනිදා කොරෝනා රෝගීන් 24 දෙනකු හමුවී ඇති බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
මෙම ආසාදිතයන් 24 දෙනා වාර්තා වී ඇති ග්‍රාම නිලධාරී වසම් හා එම වසම්වලින් වාර්තා වූ සංඛ්‍යා වනුයේ කොබවක උතුර 01, බුලත්සිංහල මධ්‍යම 01, දේවමුල්ල 05, ඉහළ නාරගල 03, හල්වතුර 04, ඈගල්ඔය 02, දියකඩුව නැගෙනහිර 01, කෝන්ගස්තැන්න 01, අමරගෙදර දකුණ 01, දියකඩුව බටහිර 01, බුලත්සිංහල දකුණ 01,දෙමෝදරවත්ත 01, බෝගහවත්ත 01, ගෝවින්න දකුණ 01 වශයෙනි.

බිංගිරිය
බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පමණක් ආසාදිතයන් 200කට අධික පිරිසක් හඳුනාගෙන ඇතැයි බිංගිරිය කොවිඩ් මර්දන කමිටුව පවසයි. මෙම පිරිස් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 52 අතරින් 35කට වැඩි ප්‍රමාණයක විසිරී පවතියි.

මදුරාවල

මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පසුගිය දෙසතිය තුළ කොරෝනා ආසාදිතයන් 53 දෙනකු හමුවී ඇති බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න පැවසුවාය.
මෙම බලප්‍රදේශයේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත කොරෝනා ආසාදිතයන් 259 දෙනකු හමුවී ඇති අතර මේවන විට ප්‍රදේශයේ පවුල් 200ක පුද්ගලයන් 618ක් නිරෝධායනට ලක්කර ඇති බවත් වෛද්‍ය කුලරත්න ප්‍රකාශ කළාය.

කිලිනොච්චි

පොලිස් සැරයන් තනතුර සඳහා උසස්වීම් ලබාගැනීමේ අවසන් පරීක්ෂණයක් සඳහා ගිය කිලිනොච්චිය මූලස්ථාන පොලිසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරුන් සිවු දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව කිලිනොච්චිය සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
පැවති අවසන් සම්මුක පරීක්ෂණයට කන්කසන්තුරය සේවස්ථ පුහුණු මධ්‍යස්ථානයට ගිය පොලිස් කොස්තාපල්වරුන් 15 දෙනකුගේ පමණ හදිසියේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී කොවිඩ් 19 වයිරසය ආසාධනයවී ඇති බව තහවුරුවී තිබුණි.

හැටන්
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කො දමළ මහා විද්‍යාලයේ තවත් ගුරුවරියකට සහ සිසුවකුට කොවිඩ් 19 වයිරසය අාසාදනය වී ඇති බවට (04) දින ලද පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වූ බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමායියා බාලක්‍රිෂ්ණන් පැවසීය.
එම පාසලේ 09 වසරේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරියකට සහ එම වසරේම අධ්‍යාපනය ලබන සිසුවකුට මීට ප්‍රථම කොවිඩ් 19 වයිරසය අාසාදනය වී තිබුණි.


වේයන්ගොඩ

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් කොවිඩ අසාදිතයන් 6 දෙනකු හමුවීමෙන් අනතුරුව එහි වෙළඳුන්, නාට්ටාමිවරුන් ඇතුළු 176 දෙනෙකු පෙරේදා (3 දා) පීසීආර් පරික්‍ෂණය සඳහා යොමු කළ බව අත්තනගල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අජිත් කුමාර මහතා ඊයේ (4 දා) පැවැසීය. අලුත් අවුරුදු කොරෝනා රැල්ල න් ඊයේ (4 දා) පෙරවරුව වන විට අසාදිතයන් 1375ක් වාර්තාවී ඇති බව හෙතෙම පැවැසීය. එම ආසාදිතයන් නිට්ටඹුව, පින්නගොල්ල, රපොකුණගම, සපුගස්තැන්න, එල්ලක්කල සහ වල්ගම්පොල ඇතුළු අවට පදිංචිකරුවන් බවත් ඔවුන් පළමු පෙළ ආශ්‍රිතයන් බවත් පැවසු පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අජිත් කුමාර මහතා නිට්ටඹුව ලංගම ඩිපෝවේ සේවකයෙකු ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව එම ඩිපෝවේ සේවය කරන 15 දෙනෙකු නික්වෙස් තුළ නිරෝධායනයට යොමු කළ බව පැවැසීය.

රජරට තාක්ෂණ පීඨය
මිහින්තලේ රජරට විශ්ව විද්‍යායලේ තාක්ෂණ විද්‍යා පීඨයේ තවත් සිසුවකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව  (03 වැනිදා) සිදුකළ රැපිඩ් ඇනටිජන් පරීක්ෂණයකදී තහවුරු වී තිබේ. අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සෝමතිලක මහතා පැවසුවේ අහඹු ලෙස තෝරාගත් සිසු සිසුවියන් විසි දෙනකු සඳහා පෙරේදා (03 වැනිදා) සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකදී කොරෝනා ආසාදනය වූ මේ සිසුවා හමු වූ බවයි.  තවත් සිසු සිසුවියන් 27 දෙනකුට පෙරේදා ජී.සී.ආර්. පරික්ෂණ සිදුකළ බවත් එහි ප්‍රතිඵල ඊයේ (4 වැනිදා) දිනයේදී ලැබීමට නියමිතව තිබූ බවත් වෛද්‍ය සෝමතිලක මහතා පැවසීය.
මේ සිසුසිසුවියන් දැනට රජරට විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල වෙන් වෙන් වශයෙන් රඳවා තබාගෙන  ප්‍රථිකාර කරන බව මිහින්තලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල්වල මේ වන විට අලුතින් හඳුනා ගන්නා රෝගීන්ට ඉඩ නොමැතිකම නිසා මේ සිසු සිසුවියන්ව නේවාසිකාගාරවල තබාගෙන ප්‍රතිකාර කිරිමට සිදුවී ඇතැයිද එම ප්‍රකාශකයා පැවැසීය.


අගුණකොළපළැස්ස බන්ධනාගාරය
අගුණකොළපළැස්ස බන්ධනාගාරයේ තවත් රැදයත් 39 දෙනකු කොවිඩ් ආසාදිතයින් බවට ඉකුත් 03 වැනිදා සිදුකළ ඇන්ටින් පරික්ෂණ වලින් හඳුනාගත ඇතයි බන්ධනාගාර නිලධාරියක් පැවසීය. අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අගුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් 56 දෙනකුට සිදු කළ ඇන්ටිජන් පරික්ෂණ වලින් පසුව මෙම ආසාදිතයන්  හඳුනාගෙන තිබේ. පසුගිය 02 වැනිදා අම්බලන්තොට සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කාර්යාල විසින් සිරකරුවන් 26 දෙනකුට ඇන්ටිජන් පරික්ෂණ සිදු කර තිබූ අතර ඉන් 18 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබුණි.
බන්ධනාගාර තොරතුරු වලින් පැවසෙන්නේ බන්ධනාගාරයේ ඇති සිරකරු වාට්ටු 05ක අසාදිතයන් හඳුනාගෙන ඇති බවයි. බන්ධනාගාර ගතව සිටින රන්ජන් රාමනායක රැදී සිටින සිර මැදිරිය මේ වන විට සුරක්ෂිතව ඇති බවද එම තොරතුරු වලින් පැවසේ.

කොවිඩ් ආසාදිත රැඳවියන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට යොමු කොට තිබේ. කොවිච් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා අද දිනයේද රැඳවියන් පිරිසකට ඇන්ටිජන් පරික්ෂණ සිදු කිරිමට නියමිත බවත්  බන්ධනාගාර ප්‍රකාශකයා පැවසීය.