කොරෝනා ආසාදිතයන් දිනකට දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනීම මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්වයකැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 

මෙම තත්වය හේතුවෙන් රටපුරා සෑම රෝහලකම කොරෝනා රෝගීන් වෙනුවෙන් විශේෂ වාට්ටු ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු කීවේය. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 17000 කට අධික බවද එය රෝහල් පද්ධතියට දරාගත නොහැකි තත්වය බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකවල ඇඳන් 143 ක් තිබෙන අතර ඇතැම් රෝහල්වල  අධි ප්‍රතිකාර ඒකක ස්ථාපිත කර තිබෙන බවද ඔහු සඳහන් කළේය. ඉදිරියේදී රටේ තත්වය තවදුරටත් බරපතළ විය හැකි හෙයින්, රටේ සියලුම පුරවැසියන් සමාජ වගකීමකින් කටයුතු කළ යුතු බවද සුදත් සමරවීර මහතා කීවේය.  මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අල්ල ගුණවර්ධන මහතා සඳහන් කළේ රටේ තත්වය තවදුරටත් බරපතළ වුවහොත් පළාත් අතර සංචරණ සීමා පනවන බවය.