bad-doctor-experience-covid19

මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍ය රවි මුදලිගේ
මහතාට කොරෝනා මරණයක් සිදු වූ පවුලක ඥාතියෙකු වශයෙන් මුහුණදෙන්නට සිදුවූ අපහසුදායක අත්දැකීමක් ගැන සටහනක් අප වෙත යොමු කර තිබේ.
කොරෝනා මරණයක් සිදුවූ පසු ආදාහනය කිරීම දක්වා දැනට ලංකාවේ පවතින ක්‍රමවේදයට අනුව එම මරණකරුගේ ඥාතියෙකුට මුහුණදීමට සිදුවන මෙවන් අපහසුතා තවත් සිදු නොවිය යුතු බව ඔහු පෙන්වා දෙයි. ඔහුගේ විස්තරය පහත පරිදිය.

මෙම ලිපිය ලියන මම රජයේ රෝහලක ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමි. දැනට දින කිහිපයකට පෙර එනම් 2021 මැයි මස 10 දින මගේ ඥාතියෙක් කිරිබත්ගොඩ රෝහලට ඇතුල් කිරීමෙන් පසුව කොරෝනා රෝගය උත්සන්න වී මරණයට පත් විය.
ඒ වන විට එම පවුලේ සියලුම සාමාජිකයන් කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කළ බැවින් එම මරණකරුගේ දේහය අවසන් කටයුතු සිදු කිරීම මා වෙත පැවරිණි.
මා රූපවාහිනියෙන් දැක තිබූ පරිදි පැය විසිහතරක් ඇතුළත සිදුවන මෙම ආදාහන කටයුත්ත ඉතා පහසුවෙන් කළ හැකි යැයි සිතා ඒ සඳහා මගේ කැමැත්ත ප්‍රකාශ කරන ලදී.



මා මුලින්ම කිරිබත්ගොඩ රෝහලට ගොස් වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව හැඟී ගියේ එය මා සිතා සිටි පරිදි ඉතා පහසු කාර්යයක් නොවන බවයි.
මරණයට අදාළ ලියකියවිලි රැගෙන එම ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථානය වන සපුගස්කන්ද පොලිස් ස්ථානයට ගියෙමි. සපුගස්කන්ද පොලිස් ස්ථානයේ මට පැය දෙකහමාරක පමණ කාලයක් නිලධාරියකු ලබා ගැනීම සඳහා බලා සිටීමට සිදුවිය. කිහිප වතාවක් ආයචනා කිරීමෙන් පසුව නිලධාරියෙකු සොයාගෙන එම නිලධාරියා ද සමඟ නැවත මම කිරිබත්ගොඩ රෝහලට ගියෙමි. එහිදී දැනගන්නට ලැබුණේ මරණය සම්බන්ධ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා මෙම ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක හමුවී ඔහුගෙන් වාර්තාවක් ලබාගත යුතු බවයි. ඒ අනුව මම පෑළියගොඩ ප්‍රදේශයට ගොස් අදාළ හදිසි මරණ පරික්ෂක හමු වූයෙමි.


මරණ පරීක්ෂකතුමාට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු විසින් රෝගියාගේ රෝග විනිශ්චය වාර්තා පොත් පිළිබඳව මාගෙන් විමසන ලදී. ඇය 2006 වසරේ සිට අධික රුධිර පීඩනය, කිරීටක ධමනි රෝගය, කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝග ගණනාවකින් පෙළෙමින් සිටි අයෙකි. එම රෝග විනිශ්චය වාර්තා පත්‍ර වල ඡායා පිටපත් කිහිපයක් ඔහුට ලබා දුන් නමුත් ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ මෙම මරණය පිළිබඳව මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. කිරිබත්ගොඩ රෝහලෙන් කොවිඩ් 19 රැපිඩ් ඇන්ටිජන් (RAT) පරීක්ෂණය සිදු කර කොරෝනා පොසිටිව් වූ රෝගියෙකු යැයි සනාථ කර තිබියදී නැවත වතාවක් පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියා මට වටහා ගත නොහැකි විය.
හදිසි මරණ පරීක්ෂක විසින් හිතාමතා හෝ අත්තනෝමතික ලෙස අපව අපහසුවට පත් කිරීමේ චේතනාවෙන් මෙවැනි තීන්දුවක් ලබා දුන් බව මම තරයේ විශ්වාස කරමි. එයට පාදක වූ කාරණය මෙය කියවන ඔබට වැටහෙනු ඇතැයි මම විශ්වාස කරමි. මෙවැනි බාධාවලින් තොරව එම කටයුතු කර ගැනීම පිළිබඳව ඉඟියක් මා සමග මරණ කටයුත්තට සහභාගි වූ පොලිස් නිලධාරියා විසින් ප්‍රකාශ කරන ලදී. නමුත් මම වෘත්තීය වේදියෙකු වශයෙන් හදිසි මරණ පරීක්ෂකවරයෙකු ගෙන් මෙවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවූයෙමි.
ලබාදී තිබු මෙම අද්භූත තීන්දුවට අනුව අනිවාර්යෙන්ම දේහය රාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යා යුතුව තිබිණි. වේලාව සවස හයට පමණ ඇත.


මා අවමංගල්‍ය ආයතන කිහිපයකට කතා කළ නමුත් කිසිදු ආයතනයක් එම අවස්ථාවේ දේහය රැගෙන යාමට කැමැත්ත ප්‍රකාශ කළේ නැත. මේ වන විටත් මෘත ශරීරය එම වාට්ටුවේ පැය හතක් පමණ තබා තිබිණි. එම තත්ත්වය එම වාට්ටුවේ රෝගීන්ට ද කාර්යය මණ්ඩලයට ද බලවත් අපහසුතාවයක් ඇති කරන්නට ඇත.
කෙසේ නමුත් අවසානයේ එක් ආයතනයක් රුපියල් 35,000 ක මුදලකට එම දේහය කිරිබත්ගොඩ සිට රාගම දක්වා රැගෙන යාමට කැමැත්ත පළ කරන ලදී. මෙම මුදල ඉතා අධික අයකිරීමක් බව වැටහුණත් ඒ වෙලාවෙ හැටියට වෙනත් විකල්පයක් නොතිබූ බැවින් මම එයට එකඟ වූයෙමි.

ඒ අනුව සවස 7 වන විට අවමංගල්‍ය රථයක් නොවන පුද්ගලික වෑන් රථයක් රෝහලට පැමිණ එම දේහය රාගම දක්වා ගෙන යන ලදී. නමුත් එම රථය පැදවූ රියැදුරු අදාළ ආරක්ෂණ ඇඳුම් ඇඳ සිටි බැවින් ඔහු කිසියම් ආකාරයක පළපුරුද්දක් සහිත පුද්ගලයකු බව මගේ වැටහීමයි. මට හැඟී ගියේ කොරෝනා මරණ ප්‍රවාහනය කිරීම සඳහා කිසියම් පිරිසක් විසින් ඉතා ඉහල මිලකටම කටයුතු කිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බව බවයි. මක් නිසාද යත් එවැනි දේහයක් ප්‍රවාහනය කිරීමේදී ඥාතීන් පවා අපහසුතාවයට පත්වන බැවින් ඉතා ඉහළ මුදලකට වුවද එකඟ වීම නිතැතින් ම සිදුවන බැවින් කල දුටු කළ වළ ඉහ ගැනීමට අවස්ථාව ලැබෙන හෙයිනි.



පසුදින උදෑසන අධිකරණ වෛද්‍ය නිලධාරීන් හමු වූ අවස්ථාවේ ඔවුන් මෙය
කොරෝනා මරණයක් ලෙස පිළිගත් බැවින් එම මරණය පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඇති විය. නමුත් එම අවස්ථාවේ එහි සිටි විශේෂඥ වෛද්‍යවරිය විසින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය (RAT) පමණක් ධනාත්මක වූ මෙම මළ සිරුර PCR පරීක්ෂණයකින් සහ පසුව සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණයකින් පමණක් නිදහස් කිරීමට තීරණය කරන ලදී. එම තීරණය පිළිබඳව ද මා ඉතා විමතියට පත්වූ අතර ඔවුන් එම තීරණය දැඩි ව සිටි බැවින් මට සිදු වූයේ PCR පරීක්ෂණය සිදුකර එහි ප්‍රතිඵල ලැබෙන තෙක් බලා සිටීමටය. 

මා එහිදී දැනගත්තේ එම ප්‍රතිඵල දින දෙකක් ප්‍රමාද විය හැකි බවයි. මෙහිදී මියගොස් සිටියේ වයස අවුරුදු 74 ක් වූ නිධන්ගත රෝග ගණනාවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි වයෝවෘද්ධ කාන්තාවකි.
කොරෝනා රෝගය නිසා රටේ මෙවන් ව්‍යසනයක් පවතින අවස්ථාවක වයෝවෘද්ධ පුද්ගලයකු කොරෝනා ධනාත්මක වී මිය ගිය අවස්ථාවක මෙවැනි ආකාරයට විවිධාකාර (මට හැඟෙන පරිදි අනවශ්‍ය) පරීක්ෂණ පැවැත්වෙමින් කාලය මිඩංගු කිරීම නිසා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ සමාජයට සිදුවිය හැකි හානිය පිළිබඳ මෙම විශේෂඥ වෛද්‍යවරියට දැනුම නො තිබීම පිළිබඳව මම පුදුමයට පත් වූයෙමි.


නමුත් කළ හැක්කක් නොමැත. පසුදින PCR පරීක්ෂණය ප්‍රතිඵල ලැබෙන තෙක් බලා සිටීමට සිදු විය. පරීක්ෂණය නැවතත් ධනාත්මකව ප්‍රතිඵල ලැබුණු අතර ඉන් පසුව දේහය කොරෝනා නිව්මෝනියාව නිසා සිදු වූ මරණයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව තුන්වන දින මා අවසන් කටයුතු කිරීමේ චේතනාවෙන් රෝහල වෙත ගොස් අදාල ලියකියවිලි ලබා ගෙන නැවත වතාවත් හදිසි මරණ පරීක්ෂක වෙත ඉදිරිපත් කරන ලදී. එහි දී ඔහු විසින් දේහය අවසන් කටයුතු කිරීමේ අවසරය ලබා දෙන ලදී.
ඉන්පසු ජාඇල ප්‍රාදේශීය සභාවට ගොස් අවසන් කටයුතු කිරීම සඳහා දිනයක් ලබා ගන්නා ලදී.  චිතකයට දින ලබා ගැනීම සඳහාද පෝලිමක් තිබෙන බව පවසන අතර සාමාන්‍යයෙන් දින ලැබෙන්නේ දින තුනක් හෝ හතරක් ඉදිරියට ය. ඇත්තටම එවැනි පෝලිමක් ඇත්දැයි මම නොදනිමි. නමුත් කෙසේ හෝ පුද්ගලික හැඳුනුම්කමක් හරහා පසුදින දහවල් වෙලාවක් වෙන්කර ගැනීමට මම සමත් වීමි. එම කටයුතු සඳහා අය කිරීම රුපියල් 6000 කි.
ඉන්පසුව එම වාර්තාව රැගෙන ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) වෙත යා යුතුයි. ඔහු දැනුවත් කළ යුතුය.
එම කාරියට අමතරව දේහය අවසන් කටයුතු කිරීම සඳහා අවමංගල්‍ය ආයතනයට භාරදිය යුතුය. මුලින් කතා කරන ලද ආයතනය ඒ  සඳහා රුපියල් හැටදාහක් අවශ්‍ය බව පැවසූ නමුත් රාගම ප්‍රදේශයේ වෙනත් ආයතනයකින් රුපියල් 30000 ට එම කටයුත්ත සිදු කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ලදී.

අප රූපවාහිනී මාධ්‍ය ඔස්සේ දකින්නේ කොරෝනා මරණ කිසිදු ඥාතියකුගේ හෝ වෙනත් පාර්ශවයන්ගේ සහභාගිත්වයක් නොමැතිව ඉතාම ලස්සනට මෙන්ම ඉතාම ඉක්මණින් සිදුවන බවයි. නමුත් ඇත්ත වශයෙන්ම එවැනි තත්ත්වයක් නොමැත. අවාසනාවකට හෝ මරණයක් සිදු වුවහොත් මා සිතන පරිදි ඔබටද මෙම දින තුනක හෝ හතරක ඉතා කටුක අත්දැකීම ට මුහුණ දීමට සිදුවනු ඇත. මේ එක් එක් සෑම කටයුත්තක් සඳහාම ගත වූ කාලය පැය ගණනක් විය. කිසිදු කටයුත්තක් එසැණින් සිදුවෙතැයි බලාපොරොත්තු විය නොහැක. එයට හේතුව ඒ සියලු රාජකාරි ස්ථානවල අධික තදබදයක් තිබීමයි.

මා මේ ලිපිය ලිවීමට අදහස් කළේ කිසිදු අයෙකු අපහසුතාවයට පත් කිරීමට නොවේ. නමුත් කොරෝනා ව්‍යසනය උග්‍ර වෙමින් පවතින මෙවන් අවස්ථාවක එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මහජනයා අපහසුතාවයට පත් කරමින් තමන්ගේ මඩිය තරකර ගන්නා පිරිසක් අප සමාජයේ සිටින බව නොරහසකි. එවන් පසුබිමක් තුළ අපගේ බලධාරීන් මේ පිළිබඳ අවධානය යොමුකර මෙම කොරෝනා මරණ මීට වඩා පහසු ක්‍රමයකට ක්‍රමානුකූලව අවසන් කටයුතු සිදු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් එය සමාජයට සිදුකරන වැදගත් මෙහෙවරකි. 


දුප්පත් අසරණ පුද්ගලයකු හදිස්සියේ අනපේක්ෂිතව මෙම තත්වයට මුහුණ දුනහොත් රුපියල් හැට හය දාහක් වැනි මුදලක් (සන්තෝසම් වලට අමතරව) ක්ෂණිකව සොයා ගැනීමට ඔහු පත්වන තත්වය පිළිබඳ අප අවබෝධ කරගත යුතුය.

රජයේ රෝහලක දීර්ඝ කාලයක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු ලෙස සේවය කරන මෙම තත්ත්වයට මුහුණ දුන් මාහට පෞද්ගලික හැඳුනුම්කම් පවා පැවතියද කොරෝනා මරණයක් නිදහස් කර ආදාහනය කිරීම සඳහා දින හතරක් ගත වූයේ නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු සම්බන්ධතා නොමැති සාමාන්‍ය පුරවැසියකුට මුහුණ දීමට සිදු විය හැකි තත්ත්වය පිළිබඳ මෙය කියවන ඔබට වැටහෙනු ඇතැයි අපේක්ෂා කරමි.

වෛද්‍ය ආර්. මුදලිගේ
(ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, මුල්ලේරියාව)