anura-kumara-speaks

අද (11) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ  මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී  නායක අනුර දිසානායක මහතා අදහස් දක්වමින් මෙසේ කීය.



“කොවිඩ් වසංගත තත්වය හේතුකොටගෙන අපේ රට මුහුණ දී තිබෙන අතිශය බිහිසුනු තත්වයක්. සෞඛ්‍ය කාර්ය මණ්ඩල තමන්ගේ වගකීම පූර්ණ ලෙස ඉටුකිරීම සඳහා උත්සාහ දරමින් සිටියදී පවා මූලික පහසුකම් පවා නොමැති තත්වයක් තිබෙනවා. ආරක්‍ෂිත ඇඳුම් කට්ටල, වෙනත් යටිතල පහසුකම් කිසිවක් වර්ධනය කර නොමැති පසුබිමක ඇතැම් රෝහල්වල උද්ඝෝෂණ පවා සිදුකරනවා.  හමුදාව පීඩාවට පත්වෙලා. ඔවුන්ට ලබාදෙන ආහාර වේල පවා ලාභ හාලකින් ආහාරයට ගැනීමට නොහැකි තත්වයේ ආහාර ලබාදීලා..  වහාම කොවිඩ් තත්වය මැඩපැවැත්වීමට අසමත් වුවහොත් විශාල සමූහ මිනිස් ඝාතන බවට වර්ධනය වීමේ ඉඩකඩ තිබෙනවා.
 ජනාධිපතිවරයාගේ උඩඟු, මෝඩ අපරිණත නායකයෙක් විදිහට කටයුතු කිරීමෙන් මේ ව්‍යසනය ඇතිවී තිබෙනවා.
කිසිවෙකුට ඇහුම්කන් නොදෙන, හිතුවක්කාර, තක්කඩි ප්‍රවේශයක් ඔහු තුළින් වර්ධනය වී තිබෙනවා. මේ නිසා පිළියම් යොදන සෞඛ්‍ය අංශ, විශේෂඥ කණ්ඩායම් ජනාධිපතිවරයා ඉදිරියේ විවෘත සාකච්ඡාවලට නොගිහින් සිටිනවා. කරුණු විවෘතව ඉදිරිපත් නොකර සිටිනවා. ජනාධිපතිවරයාගේ මෙම හිතුවක්කාර හැසිරීම අද අපේ රටේ මිනිස් ජීවිත බිළි ගනිමින් තිබෙනවා. රට විශාල අනාරක්‍ෂිතභාවයකට පත්වී තිබෙනවා. මෙම තත්වය ඕපපාතිකව ඇතිවූවක් නොවේ. දූපතක් වන බැවින් වෛසරය අපේ රටට ඇතුල්වීම වළක්වා ගැනීමට ඕන තරම් ඉඩකඩ තිබෙන බව අපි මුල සිටම පැහැදිලි කර දුන්නා. හැබැයි මොන තරම් අසමත්කම්, අත්හැරීම්, වැරදි තීන්දු-තීරණ ආණ්ඩුව අරගෙන තිබෙනවාද බලන්න.


 හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්තුමා, වෛද්‍ය අනිල් ජාසිංහ මහත්තයා දීර්ඝ කාලයක් එම තනතුරේ හිටියා. මුල් අවදියේදී වසංගතය මැඩපැවැත්වීම සඳහා ඔහු කළ කාර්යභාරය ගැන ඇගයීමක් ජනතාව තුළ තිබුණා. විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන , වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මැතිතුමා මුල් අදියරේදී විශාල කාර්යභාරයක් කළා. ඔවුන් අද කෝ?  අද මුලු යාන්ත්‍රණයම බිඳ වැටිලා.
මෙම යාන්ත්‍රණයේ ප්‍රමුඛතව කාර්යභාරය සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට දුන්නේ නැහැ. වෙන වෙන අය යාන්ත්‍රණයේ ප්‍රධානීන් බවට පත්කළා. මේ නිසා මුළු යාන්ත්‍රණයම බිඳ වැටිලා. බිඳ වැටීම කොතෙක්ද කියනවා නම් රජය ලබාදෙන තොරතුරු සහ දත්ත පිළිබඳව පොදු ජනතාවගේ විශ්වාසය බිඳ වැටිලා.
අලුත් අනුවර්තනයකට ලක්වූ ප්‍රභේදයන් තමන්ගේ රටට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ලෝකයේ රටවල් අනුගමනය කළා. බ්‍රිතතාන්‍ය ප්‍රභේදය විශාල ලෙස වර්ධනය වූ බව එක් අවස්ථාවක හඳුනා ගත්තා. මේ නිසා ලෝකයේ රටවල් එම වෛරසය ඇතුලු වීම වැළැක්වීම සඳහා විවිධ සීමා පැනවූවා.

පී.සී.ආර්. අවශ්‍ය නැති බවත් සියලුදෙනාට එන්නත් ලබා දෙන බවත් ජනාධිපතිවරයා කීවා. හැබැයි ඊට අවශ්‍ය එන්නත් රටට ලබාගැනීම සඳහා තිබුණු සැලැස්ම කුමක්ද? පහුගිය දෙසැම්බර් මාසය වෙනකොට එන්නත් හඳුනාගෙන තිබුණා. සමහර රටවල් දෙසැම්බර් මැද වෙනකොට එන්නත් ලබාදීම පටන්ගෙන තිබුණා. මේ එන්නත් ලබාගැනීමට ඉල්ලීම් කිරීම, ගිවිසුම්ගත වීම වැනි මූලික ක්‍රියාමාර්ග තිබුණා. ආණ්ඩුව මේ කිසිවක් කළේ නැහැ.

ජාතික සැලැස්මක් මත ක්‍රමාණුකූලව පුරවැසියන් හට ලබාදීමේ නිර්දේශ ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී තිබුණා. නමුත් අපේ රටේ සමහර අයගේ ගෙවල්වල, සමහර අයගේ ලියුම්වලට, සමහර අයගේ කෝල්වලට එන්නත් ලබාදුන්නා. මුළු එන්නත් ක්‍රියාවලියම අවුල් කළා.  ඇස්ට්‍රා සෙනිකා එන්නත පළමු වටයේදී ලක්‍ෂ 09කට පමණ ලබාදී දෙවන වටයේදී ඉතිරි වෙලා තියෙන්නේ ලක්‍ෂ 03ක් විතර. ලක්‍ෂ හයකට විතර දෙවැනි එන්නත නැතිව යනවා. මේ එන්නත් ප්‍රමාණය ලැබුණාට පස්සේ අඩක් දෙවැනි වර ලබාදෙන්න යොදවන්න තිබුණා. නමුත් මේ දේශපාලන නායකත්වයත් යාන්ත්‍රණයත් එන්නත් ලබාගැනීමේදී සහ ලබාදීමේදී අසමත්වී තිබෙනවා.

විශේෂයෙන් වසංගතයත් එක්ක ව්‍යාපාර ගැටගැසී තිබුණා. තමන් වටා ඉන්න චෞර වළල්ලේ ලාභ ලැබීමේ අවස්ථාවක් බවට මෙවැනි ව්‍යසනයන් යොදා ගැනීම වැළැක්වීමට තිබුණා. සීනි, පොල්තෙල් ගේනකොට හොරකම් කරන එක, හයිවේවලින් කොමිස් ගහන එක, චෞර වළල්ල සනසන්න ඉඩ තියලා. මෙවැනි වසංගතයක් තුළින් ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කිරීමට ඉඩ නොදිය යුතුව තිබුණා. කොවිඩ් වසංගතය ගරානාවක් බවට පත්කර ගැනීමට ඉඩදීමෙන් අද ලැබී තිබෙන ප්‍රතිවිපාක උග්‍ර වී තිබෙනවා. පී.සී.ආර්. පරීක්‍ෂණ කට්ටල ගෙන්වීම, නිරෝධායන හෝටල් වෙන් කිරීම, විදේශවල සිට එන අය ඒවාට යෙදවීම, තමන්ගේ චෞර වළල්ලේ කණ්ඩායම්වල ව්‍යාපාර බවට පත්කර ගන්න ඉඩ දුන්නා. එක රැයකට රු. 14,000-16,000ක් අයකර ගනිමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීම බිස්නස් එකක් කරගන්න ඉඩ දුන්නා. ඒ අය ලංකාවට ගෙන ඒමත් බිස්නස් එකක් කර ගන්නට ඉඩ දුන්නා.

උදයංග වීරතුංග ඥාති සොහොයුරාට යුක්‍රේනයේ සංචාරකයන් ගෙන්වන්න ඉඩ දුන්නා. ඒජන්සියක් නැති කෙනෙක් යුක්‍රේන සංචාරකයින් ගේන්න පටන් ගත්තා. ඔවුන් රට පුරා කෙළි දෙලෙන් සැරිසරන්න පටන් ගත්තා. එංගලන්ත ප්‍රභේදය ලංකාවට ආවේ යුක්‍රේන් සංචාරකයන්ගෙන් කියලා සමහර අය අනතුරු අඟවා තිබෙනවා. පත්තරවල දැන්වීම් දාලා ඉන්දියානුවන් මේරටේ නිරෝධායනයට ගෙන්වා ගත්තා. අනික් රටවල් ඉන්දියානුවන් ඇතුල්වීම වළක්වනකොට අපේ රටේ පාලකයන්ගේ චෞර වළල්ල ඩොලර් 690කට සති දෙකක නිරෝධායනයක් ලබාදුන්නා. ඉන්දියන් වෛසරය ව්‍යාපාරයක් බවට පත්කර ගැනීම නිසා අද බරපතළ තත්වයකට පත්වී තිබෙනවා.



පෞද්ගලික රෝහල්වලට හෝටල් කුලියට අරන් ආසාධිතයන් යොමු කරමින් තිබෙනවා. දින 10ක් මේ හෝටල් කාමරවල නවාතැන් ලබාදී රු. 213,000ක් ගෙවූ රිසිට්පතක් මට ලැබී තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාපාරයක් බවට පත්කරගත් නිසා මේ තරම් ව්‍යසනයක් වී තිබෙනවා. ජනතාව යම් ප්‍රමාණයකට වගකීම් විරහිත ලෙස හැසිරී තිබෙන බව අපි පිළිගන්නවා. දේශපාලන නායකත්වය කඩා වැටෙනකොට, යාන්ත්‍රණය කඩාවැටෙනකොට ජනතාවගේ මේ හැසිරීම අරුම පුදුම දෙයක් නෙවෙයි. දියාරු ප්‍රතිපත්ති සහ තීන්දු-තීරණ, ඒකමතිකභාවයක් නොවීම වැනි තත්වයන් තුළ පොදු ජනයා නිතැතින්ම මේ ආකාරයට හැසිරෙනවා.

ගැබිණි මවුවරුන් ගණනාවක් මේ වනවිට දැඩි සත්කාර ඒකකවල ඉන්නවා. දැඩි සත්කාර ඒකකයේ ඇඳක් තිබුණා නම් මිනුවන්ගොඩ අම්මා බේරාගත හැකිව තිබුණු බව වෛද්‍යවරු කියා තිබුණා.
මේ පාලකයන් මේවා සංවේදීව දකිනවාද? ඔවුන්ට මේ වා ඉලක්කම් විතරයි. ඒ නිසා තමයි ආණ්ඩුවේ උදවිය “ඉන්දියාවේ මැරෙන තරම් අපේ මැරෙන්නේ නැහැ” කියන්නේ. මොන දුෂ්ඨ චින්තනයක්ද ඒක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනත් රටවල් එක්ක සංඛ්‍යා සන්සන්දනය කර පෙන්වනවා. රටේ පාලකයාගේ වගකීම මොකක්ද?

මෙම කාර්ය සාධක බලකාය යළි ප්‍රතිසංවිධානය කළ යුතුයි. විශේෂයෙන් මෙය සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස සලකා නිර්දේශයන්, අධීක්ෂණයන්, මඟපෙන්වීම් සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙම යාන්ත්‍රණය තුළ බලවත් කළ යුතුයි. පුද්ගලයන් විශේෂ නොවූවාට පුද්ගලයන් විශේෂිතයන් වී තිබෙනවා. ඔවුන් එයට නැවත කැඳවිය යුතුයි. අනිල් ජාසිංහ මහතා, පබා පලිහවඩන මහත්මිය, ජයරුවන් බණ්ඩාර මහතා වැන්නවුන් ඊට නැවත කැඳවිය යුතුයි. මේ යාන්ත්‍රණය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඊට ඒකමතිත්වයක් ලබා දිය යුතුයි. සමාජයට එක් එක් අවස්ථාවල විගඩම් ඉදිරිපත් කිරීම නතර කළ යුතුයි. එක් එක් අමාත්‍යවරුන්, මාධ්‍ය ප්‍රකාශකයින් කරනු ලබන විගඩම් කතා නතර කළ යුතුයි. රජයක් ලෙස ප්‍රතිපත්තිමය කරුණු සමාජයට ඒ බරින් හා සුදුසු ලෙස ඉදිරිපත් කරන්න.

අද ජනතාව ආණ්ඩුව කියනු ලබන කිසිදු ප්‍රවෘත්තියක් විශ්වාස කරන්නේ නැහැ. ඊයේ දිනයේ මියගියේ 26ක් යැයි කිසිවෙක් විශ්වාස කරනවාද? ඔය කිවුවට ඊට වඩා වැඩියැයි ජනතාව කියනවා. ඊයේ 2700කට ආසන්න පිරිසක් හමු වූ බව කියූවත් ඊට වඩා වැඩි ඇති යැයි ප්‍රකාශ ඉදිරිපත් වනවා. අපේ ගම්වල මියගිය අය වාර්තා වී නොමැති බව කියනවා. මේ තත්වය තුළ ආණ්ඩුවේ දත්ත පිළිබඳ අවිශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. මේ ව්‍යසනයේදී ජනතාව ඒකමතිකභාවයකට ගෙන ඒම අතිශය වැදගත් වනවා. ඒ සඳහා යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතුව තිබෙනවා.

අද රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සීමා කරන බව ප්‍රකාශ වී තිබෙනවා. මෙය මාසයකට වඩා ප්‍රමාද තීන්දුවක්. අප්‍රේල් 08වැනිදා බ්‍රිතාන්‍ය ප්‍රභේදය ලංකාවට ඇතුල් වී ඇති බව පර්යේෂකයින් කියනවා. පළාත් සංචරණ සීමා ඒ මොහොතේ පැනවූවානම් එය පළාතකට සීමා කර ගත හැකිව තිබුණා. නමුත් එම තීන්දුව ගෙන තිබෙන්නේ මාසයකට පසුවයි. එමනිසා තවදුරටත් පළාත් අතර සංචරණ සීමා පැනවීම ප්‍රමාණවත්ද යන ගැටලුව තිබෙනවා. එමනිසා සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව දැඩි සංචරණ සීමාවන්ට යා යුතුව තිබෙනවා.

සංචරණ සීමා මගින් පොදු පුරවැසියන් යම් ආර්ථික අපහසුතාවන්ට මුහුණ දිය හැකියි.

අපි දන්නවා ඇතැම් සමාගම් 2019දී ලැබුවාටත් වඩා වැඩි ලාභයක් 2020 වසරේදී ලැබුවා. සමාජීය වගකීම වෙනුවෙන් ඔවුන්ට වැයබරක් දැරිය හැකියි. සමාජයක් නොපවතින්නේනම් ඔවුන්ට ව්‍යාපාර කටයුතු කළ නොහැකියි. ඔවුන් ලබන ලාභයෙන් පංගුවක් මේ අසරණභාවයට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා ලබා දිය හැකියි. ඒ සඳහා අරමුදලක් සකස් කළ හැකියි. ඒක පෙට්ටගම් අරමුදලක් නොවිය යුතුයි. කොවිඩ් අරමුදලට මිලියන 1700 ගණනක් ඇවිත් තිබෙනවා. මිලියන 300 ගණනක් වියදම් කර තිබෙනවා. මැරෙනකොට ගෙනියන්නද දන්නෙ නැහැ. එය මිනිසුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා වේගයෙන් වැඩකරන අරමුදලක් විය යුතුයි. එම අරමුදල අධීක්ෂණය සඳහා එයට ආධාර කරන ව්‍යාපාරයන්ගේ නියෝජිතයින්ගෙන්ද සමන්විත මණ්ඩලයක් පත් කළ යුතුයි.

මේ මොනවා හෝ සිදු වුවහොත් ආර්ථිකය කඩා වැටේයැයි ඔවුන් විහිළු කතා කියනවා. ආර්ථිකය කොහොමත් වැටෙමින් තිබෙනවා.
 ජනාධිපතිවරයාට අපි කියන්නේ කරුණාකරලා දෝලාවෙන් බහින්න. ඔබ දෝලාවේ නැග මේ රටේ මිනිස් ජීවිත සමග සෙල්ලම් කරමින් සිටිනවා. මේ රටේ දරුවන්ගේ ජීවිත සමග, ගැබිණි මාතාවන්ගේ ජීවිත සමග, වැඩිහිටියන්ගේ ජීවිත සමග ඔබ සෙල්ලම් කරමින් සිටිනවා.
මෙය සමාජ ව්‍යසනයක්. දේශපාලන පක්ෂ ලෙස පමණක් නොව පුරවැසියන් ලෙසත් අපට වගකීමක්, අයිතියක් තිබෙනවා. කිසිදු අම්මා තාත්තා කෙනෙක්, කිසිදු දරුවෙක් මේ ව්‍යවසනයේ අනිසි ගොදුරු නොවිය යුතුයි.