COVID-19 වසංගත තත්වය නිසා ලොව ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන් වෙත එල්ල වී ඇති බාධාවන් හේතුවෙන් දරුවන් දැඩි අවදානමකට ලක්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි. 

විශේෂයෙන්ම අප්‍රිකානු සහ ආසියානු කලාපීය රාජ්‍යයන්හි දරුවන්මින් වැඩි අවදානමට ලක්ව සිටින බවත්, ඔවුන් මේ වනවිට සරම්ප, පෝලියෝ, කහ උණ සහ ගලපටල රෝගය ඇතුළු ඉහළ ජීවිත අවදානමක් පවතින රෝග වෙත ගොදුරුවීමේ හැකියාවක් පවතින බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

මෙහිදී උදාහරණයක් ලෙස පාකිස්තානයේ සහ යේමනයේ එන්නත්කරණයේ ආවරණයේ පවතින පරතරයන් හේතුවෙන් මේ වනවිට සරම්ප රෝගයේ දැඩි ව්‍යාප්තියක් වාර්ත වී තිබේ. ඒ අනුව ඉදිරියේදීම මෙම ළමයින් සදහා වන නියමිත ප්‍රතිශක්තිකරණ එන්නත් මගහැරීම නිසා අනාගතයේදී තවත් දරුණු වසංගත තත්වයන්ට ලෝකය මුහුණදීමේ අවදානමක් පෙන්නුම් කරන බවත් එම සංවිධානය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් අදානොම්, "මේ එන්නත්කරණයේ පරතරයන් නිසා අද දරුණු, සැබෑ ලොව එල විපාක රැසක් මතු වෙමින් පවතිනවා.” යනුවෙන් පවසා තිබේ.ඒ අනුව ප්‍රතිශක්තිකරණ එන්නත් හිමිවිය යුතු එහෙත් මෙතෙක් එම එන්නත් ලැබී නොමැති දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 20 සිට මිලියන 10ක් දක්වා අඩකින් හෝ අඩු කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණ වී ඇතැයිද පැවසෙයි.